Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

09th February 2022 14:07:25 Hours

තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය

සංඥා පාසල මගින් දැනට පවත්වන පාඨමාලා විෂය මාලාව සමාලෝචනය කරමින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ට අනුකුලව ජාතික වෘත්තිය පුහුණු සුදුසුතා පස්වන මට්ටමින් යුත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමාවක් තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාව සමග සහයෝගිතාවයෙන් හඳුන්වාදීම සිදුකරන ලදි. යුද්ධ හමුදා පුහුණු අණසක සහ යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ පුර්ණ අනුමැතිය මත ආරම්භ කරන ලද ප්‍රථම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල 2022 පෙබරවාරි මස 07 වන දින සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදි.

සමාරම්භක උළෙල සදහා ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති වන ඉංඡිනේරු උදේනි විකමසිංහ මහතා සහභාගී විය.

සමාරමිභක දේශනයේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් පීඒජේ පීරිස් එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පවසා සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති තුමන් විසින් ද මෙම පාඨමාලාව සදහා සුබපැතුම් එක් කළ බවත්, ඉදිරියේදී මෙම පාඨමාලාව උපාධි පාඨමාලාවක් දක්වා ඉහළ නැංවීමට කටයුතු සිදු කරන ලෙසත්ය. තවද මෙම දේශනයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ රෙඡිමේන්තු පුහුණු මධ්‍යස්ථානයක් විසින් ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබාදෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙම අවස්ථාව ශ්‍රී ලංකා සංඥා බලකායේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේද වැදගත් සංධිස්ථානයක් වනු ඇති බවයි.

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව අනාගත යුද්ධ හමුදාවේ අභියෝග සහ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ වෘත්තිකයින් වශයෙන් ඵලදායී ලෙස සේවයේ යෙදවීම සඳහා නිලධාරී සහ සෙසු නිලයින් අනියුක්ත කිරීමේදී ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වාදෙන ලදි. මාස හයකින් යුත් පාඨමාලා කාල සීමාව තුළ තාක්ෂණික මෙන්ම සේවා නියුක්තිය තුළදී වැදගත් වන විෂයන් පිළිබඳවද පුළුල් දැනුමක් මෙම පාඨමාලාව හැදෑරීම තුළින් ලබාදෙනු ලැබේ.

පාඨමාලා ශිෂ්‍යයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය දියත් කිරීමද මෙම සමාරම්භක උත්සවයේදි සිදු වූ අතර, එම කළමනාකරණ පද්ධතිය තුල විද්‍යුත් පුස්ථකාලයක්, පාඨමාලා කළමනාකරණ පද්ධතියක්, ඇගයීම් කළමනාකරණ පද්ධතියක්, මාර්ගගත විභාග සහ පුහුණු දින දර්ශනයකින් සමන්විත වේ.

මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ සැබෑ වටිනාකම සහ වැදගත්කම අවබෝධ කර ගැනිමෙන් පසු වෙන් කරන ලද ඇබෑර්තු සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා සංඥා බළකාය, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ගැමුණු හේවා බළඇණිය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, විශේෂ බළකාය, සන්නද්ධ බුද්ධි බළකාය, ඉංජිනේරු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය වෙතින් නිලධාරී සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.

තවද මෙම සමාරම්භක උළෙලට සමගාමීව තරුණ සංඥා නිලධාරීන් සදහා වන ව්‍යවහාරික නූතන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබද උසස් සහතික පත්‍ර පාඨමාලා අංක 18 ආරම්භ කිරිමද මෙදින මෙම පුහුණු පාසලේදී සිදුවිය .