Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

ධජය

Sri Lanka Armoured Corps Flag.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා ශිරස්ක ලාංඡනයේ ඉතිහාසය හා සංකල්පය

පෙරදිග පුරා වෘත්තයන්හි සඳහන් වන දෙහිස් රාජාලියා පිළිබඳ කතා ඉතා සිත් ගන්නා සුලුය. හින්දු දේව කතා අනුව, ත්‍රිමූර්තියේ එක් බලවත් දෙවියෙකු වන විෂ්ණු දෙවියන්ගේ වාහනය භේරුණ්ඩ පක්ෂියාය. මෙම පක්ෂියා සූර්ය පක්ෂියා ලෙසද හඳුන්වනු ලැබේ. සිංහල ව්‍යවහාරය අනුව ගරුඬ පක්ෂියාට, ගුරුළු හෝ හේරුණ්ඩ යයි ව්‍යවහාර වේ. 17 වෙනි සියවසට පෙරාතුව මේ පක්ෂියා පිළිබඳ කිසිම සාක්ෂියක් කලා කෘතිවල හෝ ප්‍රතිමා ශිල්පයේ දක්නට නොලැබේ. අප ඉතිහාස‍යේ සඳහන් ප්‍රබල සේනාංකයක් වන තුන් කෝරලයේ රණ ධජයේ මේ පක්ෂියාගේ ස්වරූපය දක්නට ලැබේ. පසු කාලයන්හි දී දේවාල දොරටු වල මෙම රූපය දක්නට ලැබුණි. ජනප්‍රවාදයේත්, සාහිත්‍යයේත්, භාරතීය චින්තනයේත්, හේරුණ්ඩ පක්ෂියාගේ දක්වා ඇති ලක්ෂණවල ප්‍රථාපවත් බව, බලය, ගොදුර ඉක්මනින් ඩැහැගැනීමේ විචක්ෂණය හා අවදි බව යනාදි ලක්ෂණ අප බලකායේ ලක්ෂණ වලට සමීප සමානකමක් දක්වයි. මේ පක්ෂියාට හිස දෙකක් තිබීමෙන් විදහා දක්වන ලක්ෂණය වනුයේ ඉක්මනින් දිශාවෙන් දිශාවට හිස හරවා එම පෙදෙස හොඳින් විමර්ශණය කර බැලීමට ඇති විශිෂ්ඨ හැකියාවයයි..

ලාංඡනයේ නිර්මාණය

රෙජිමේන්තු ලාංඡනයේ සලකුණ ලෙස දෙහිස් රාජාලියා තෝරා ගැනිම සුදුසු යැයි මේජර් ඩී එස් ආටිගල එම්වීඕ විසින් අනුමත කළේය. රෙජිමේන්තු රණ වාදනය ලෙස “අන්ඩර් ද ඩබල් ඊගල් “ වාදනය තෝරා ගැනීමේ හැකියාවද මේ නිසා ඇතිවිය. පසුව ඔහු අප ලාංඡනය සඳහා සුදුසු චිත්‍රයක් නිර්මාණය කිරිමට ලුතිතන් එස් ඩී එන් හපුගලට පැවරුවේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි අභාවප්‍රාප්ත කේ ජයතිස්ස මහතාගේ ආධාර ඇතිව ලුතිතන් එස් ඩී එන් හපුගල විසින් පහත දක්වා ඇති චිත්‍ර ඉදිරිපත් කළේය. රෙජිමේන්තු හිස් වැසුම් ලාංඡනයෙන් දැක්වෙන අර්ථය මොවුන් දෙදෙනා විසින් සකස් කරන ලද අතර, එය මේජර් ඩී එස් ආටිගල එම්වීඕ විසින් අනුමත කරන ලදී. මුලින්ම සිදුකල නිර්මාණය අනුව ලාංඡනයේ පක්ෂියා සිහින්ව දක්වන ලදී. ප්‍රතාපවත් බව දැක්වෙන අයුරින් වඩා සම්පූර්ණ පක්ෂියෙකු අවශ්‍ය බව මේජර් ඩී එස් ආටිගල එම්වීඕ විසින් ප්‍රකාශ කරන ලදී. තවද එයින් ශ්‍රීමත් වින්ස්ටන් චර්විල්ගේ දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ මතකයන් වන යුද්ධයේ දී - අධිෂ්ඨානය, පරාජයෙහි යටත් නොවන බව, ජයග්‍රහණයේදී - ශ්‍රේෂ්ඨත්වය, සාමයේදී - සුහදතාවය ආදිය හුවා දැක්විමට ඔහු අදහස් කළේය. මෙම කර්තව්‍යයේදී කේ ජයතිස්ස මහතා විසින් දෙන ලද විශිෂ්ඨ සහයෝගය බලකාය කෘතඥ පූර්වකව සදා සිහිපත් කරන්නෙමු.

රෙජිමේන්තු ලාංඡනයෙන් පිළිබිඹු කෙරෙන අර්ථය

හේරුණ්ඩ පක්ෂියාගේ ලක්ෂණයන් ලෙස පෙර ඉදිරිපත් කළ කරුණු අප රෙජිමේන්තුවේ ලක්ෂණයන් හා කාර්යයන් සමග ඉතා සමානව පවතී. පක්ෂියාගේ දකුණතෙහි ඇති අසිපත යුද්ධයත්, වමතෙහි ඇති පද්මය සාමයත් පිළබිඹු කරයි. පපුතලයේ ඇති සිංහයා ලංකා ධජයේ ඇති සිංහයා පිළිබිඹු කරයි. මෙම සියල්ලෙහි අර්ථය “යුද්ධයේදී හෝ සාමයේදී අප හදවත් තුල ඇත්තේ අප මාතෘභූමිය පිළිබඳ හැඟීම” යන්නය.

1. ශිරස්ක ලාංඡනය නිර්මාණය කිරීමේ පළමු උත්සාහය
2. පළමුවෙන් නිපදවු ශිරස්ක ලාංඡනය (1956 වර්ෂයේ සිට භාවිතා කරන ලදී)
3. දෙවනුව නිර්මාණය කරන ලද ශිරස්ක ලාංඡනය (1972 දී ශ්‍රී ලංකාව ජනරජනයක් වු පසු)
4. වර්ථමානයේ භාවිතා කරනු ලබන ශිරස්ක ලාංඡනය (1983 සිට භාවිතා කරයි)