Header Sinhala

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය

දෛවයේ කැඳවුම කොතැනද

26th December 2022 17:40:53 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 67 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ 67 වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති සහ යුධ සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින උත්සව මාලාවක් මෝදර රොක් හවුස් හි පිහිටි සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට වෙත , යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් සහ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පියල් විජේසිරිවර්ධන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් විසින් මානූෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිකොට ඔවුන් වෙත පුෂ්පෝපහාර පුදකරමින් ගෞරව දැක්වීම සිදුකරන ලදී.

පෙළපාලිය අතරතුර, මෙම වර්ශය තුල සන්නාහ සන්නද්ධ බලකායේ හොඳම කාර්ය සාධනය දක්වන ලද ඒකකය වෙත මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් කුසලානය ප්‍රදානය කරන ලද අතර, ඒ සඳහා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ සෑම ක්ෂේත්‍රයකින්ම දක්‍ෂතා දැක්වූ ඒකකය ලෙස 4 වන සන්නාහ සන්නද්ධ බලකාය කුසලානය හිමිකර ගැනීමට සමත් විය.

සංවත්සර දිනයට තවත් වැදගත්කමක් එක් කරමින්, දිවංගත ජෙනරල් දේශමාන්‍ය ඩී එස් ආටිගල ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට උපහාරයක් ලෙස එම කදවුරු පරිශ්‍රයේ එතුමන්ගේ නමින් නම් කරන ලද මාර්ගයේ නාම පුවරුව එම බලකායේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු වන මේජර් ආර්.යූ.ඩී.එස් සේනානායක (විශ්‍රාමික) විසින් නිරාවරණය කරන ලද අතර, අනතුරුව එතුමන්ගේ පිළිරුව විවෘත කිරීම මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ ආරාධනයෙන් හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ජගත් ජයසූරිය (විශ්‍රාමික) විසින් සිදුකරන ලදී.

සංවත්සර වැඩසටහන අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා සේවාවනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය හර්ෂිනී බෝතොට මහත්මිය සහ එම ඒකකයේ අනෙකුත් සාමාජිකාවන් සමඟ එක්ව සන්නාහ සන්නද්ධ බලකායේ සුදුසුකම් ලත් පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුදැරියන් වෙත ශිෂ්‍යත්ව 10 ක් සහ පොත් කට්ටල 10 ක් ලබාදුන් අතර, තවත් ශිෂ්‍යත්ව 06 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් බී.ඒ පෙරේරා (විශ්‍රාමික) සහ එහි සාමාජිකයන් සමඟ එක්ව ලබාදුනි.

අනතුරුව ,මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විවිධ තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වූ ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලද අතර, සන්නාහ සන්නද්ධ බලකායේ 2022 වසර වෙනුවෙන් සඟරාවක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර, ඒ සඳහා ජෙනරල් දේශමාන්‍ය සේපාල ආටිගලගේ පුත් සුරාජ් ආටිගල මහතා, ලලී කොබ්බෑකඩුව මහත්මිය ඇතුළු විශ්‍රාමික යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වූහ.