?
21st October 2025 12:22:01 Hours
22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 වන පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි 20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් 2025 ඔක්තෝම්බර් මස 17 සහ 18 දෙදින ඓතිහාසික පරණ මැදවච්චිය රංමඩුව රාජමහා විහාරයේ පැවති කඨින මහා පිංකම සඳහා දායකත්වය ලබාදෙන ලදී.
මෙම ආගමික වැඩසටහන විහාරාධිකාරී පූජ්‍ය කන්දේගෙදර සුධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි 2025 ඔක්තෝම්බර් මස 17 වන දින මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා සංඝරත්නය වැඩමවා කාලීන ධර්ම දේශනයක් පවත්වා, පසු දින අටපිරිකර සහිතව උදෑසන හා දහවල් දානය මහා සංඝරත්නයේ විසිපස් නමකට පිළිගැන්වීම සිදුකරන ලද අතර, එදින රාත්‍රියේ දර්ශනීය පෙරහැරින් සදාතුක කරඩුව රජමහා විහාරස්ථානය වෙත වඩමවා තැම්පත් කරන ලදී.
20 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් රෝහණ ඒකනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ උත්සව මාලාවට සමගාමීව 2025 ඔක්තෝම්බර් මස 10 වන දින සිට 18 වන දින දක්වා කාලය තුල විහාරස්ථාන භූමිය පිරිසිදු කිරීම, කඨින පිංකම සඳහා වැඩම කරනු ලබන ස්වාමීන් වහන්සේලාට මුතුකුඩ එසවීම, දානය පිළියෙල කිරීම හා අවසන් මහ පෙරහැර සඳහා ඒකකයේ ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී.
තවද, මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා හා විහාරස්ථ දායක පිරිස සහභාගීවූ අතර, කඨින පිංකම හා පෙරහැර සඳහා ප්‍රදේශවාසී බැතිමතුන් 500ක් පමණ සහභාගීවන ලදී.