Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th April 2024 11:13:56 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (අප්‍රේල් මස 16) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර හිදී පැවැත්විණි.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. පසුව, එතුමන් කාර්යාල පරිශ්‍රයේදී සිය ධූරයේ කටයුතු නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව කාර්යාල සංකීර්ණයේදී එතුමන්ගේ ඡායාරූපයක්ද නිරාවරණය කරන ලදී.

එතුමන් අනතුරුව, සියළුම නිලයන් අමතමින් සිය ධුර කාලය තුළදී රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා දක්වන ලද කැපවීම අගය කරන ලදී.

උත්සව කටයුතු අවසානයේදී එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්හ. එදින සන්ධාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙනුවෙන් නිලධාරී නිවස්නයේදී හමුදා සම්ප්‍රදායානුකූල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ආඥාපති භඨකාර්ය සම්පාදක අණසක - නැගෙනහිර, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් ද සහභාගී වූහ.