Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2023 12:17:38 Hours

නැගෙනහිර නව ආඥාපති 24 වන පාබල සේනාංකයේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදි

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) - මේජර් ජෙනරාල් එම්කේයූපි ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 21 වන දින අම්පාර, 24 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සපැමිණි අවස්ථාවේදී 24 වන පාබල සේනාංකයෙහි සේනාංකාධීපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නැගෙනහිර නව ආඥාපතිවරයා උණුසුම් ලෙස පිලිගත් අතර යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිවිසුම් දොරටුව අසලදී වර්ණවත් පසුකර යෑමේ කදවුරු මුරයකින් නැගෙනහිර නව ආඥාපතිවරයා හට ආචාරය පිරිනමන ලදී. ඉන් පසුව නැගෙනහිර නව ආඥාපතිතුමන් සේනාංකාධිපති කාර්යාලය වෙත පිළිගත් අතර පසුව ආඥාපතිතුමන් 24 පාබල සේනාංකය යටතේ රාජකාරි සිදුකරනු ලබන භට පිරිස් ඇමතීය. එදිනට මතකයන් එක් කරමින් නැගෙනහිර නව ආඥාපතිවරයා කදවුරු පරිශ්‍රයේ දී පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදි. තවද 24 වන පාබල සේනාංකයේ අධීක්‍ෂණය යටතේ ඉදිකෙරෙමින් පවතින දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සහ ගඩොල් ව්‍යාපෘතියේ ප්‍රගතිය සිය සංචාරයේ පළමු දිනයේ දී ආසේමු (නැ)ආඥාපතිවරයා විසින් නිරීක්ෂණය කරණ ලදි.

ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් ආසේමු (නැ) ආඥාපති මුහුදු මහා විහාරය, බුද්දංගල රජමහා විහාරය සහ ඔකඳ දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව, ආසේමු (නැ) ආඥාපතිවරයා, පිළිවෙලින් අක්කරපත්තුව, කෝමාරි (පොතුවිල්) සහ කල්ලඩි (මඩකලපුව) ප්‍රදේශවල ස්ථානගත කර ඇති 241, 242, සහ 243 පාබල බලසේනා වෙත ගොස් අණදෙන නිලධාරින් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සමඟ සුහඳ සාකච්ඡාවකද නිරත විය. එදිනම සවස 24 වන පාබල සේනාංකයේ නිලධාරී නිවස්නයේදී ආසේමු (නැ)ආඥාපතිවරයා, ඉහළ රාජ්‍ය නිලධාරින් හා 24 පාසේමු නිලධාරින් සමග සුහද හමුවක් පවත්වන ලදි.

24 වන පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 24 වන පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද අම්පාර වැඩිහිටි නිවාසයේ පරිත්‍යාග වැඩසටහන සඳහා ආඥාපති ආසේමු (නැ )සහභාගී විය. ඔහුගේ සංචාරය අතරතුර ඔහු නොරොච්චෝලේ නිවාස සංකීර්ණයේ නිරීක්‍ෂණ සංචාරයකද නිරත විය.

ආඥාපතිතුමන් 24 වන පාබල සේනාංකයෙන් පිටත්ව යාමට පෙර, 24 වන පාබල සේනාංක අමුත්තන්ගේ පොතෙහි සිතුවිලි සහ ප්‍රශංසා කිහිපයක් තැබීමටද අමතක නොකලේය.