Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st December 2023 14:58:06 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනාංකය දෙමළ සිසුන් අතර සිංහල භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මගපෙන්වීම අනුව, නැගෙනහිර ආරක්ෂක සේනාංකය විසින් නැගෙනහිර සිංහල සහ දෙමළ භාෂාව කතා කරන සිසුන්ට එකිනෙකාගේ අදහස් හුවමාරු කර ගැනීම සදහා භාෂාවන් ඉගැන්වීමට මුලපුරා ඇත. වැලිකන්ද නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් සඳහා දෙමළ භාෂා පාඨමාලා ආරම්භ කිරීමත් සමඟ මෙම වැඩසටහනේ පළමු අදියර මසකට පෙර ආරම්භ විය. දෙවන අදියර 2023 දෙසැම්බර් 30 වන දින කොක්ඩිචෝලේ රාම ක්‍රිෂ්නා මිසන් විද්‍යාලයේ සිසුන් 103 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදි. එම සිසුන් 103 දෙනා 2024 ජනවාරි සිට මාස 6ක කාලයක් සිංහල භාෂා පාඨමාලාවේ නිරතවේ.

වැඩසටහනේ සමාරම්භක උත්සවය 2023 දෙසැම්බර් 30 වන දින කොකඩිචෝලේ රාම ක්‍රිෂ්නා මිසන් විද්‍යාලයේදී පැවත්වූ අතර, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න සහභාගි විය. තවද පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුරුවරුන්, දෙමාපියන්, සිසුන් සහ “සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුවේ” නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. සමාරම්භක උත්සවයට සමගාමීව සහභාගී වූ සියලුම සිසුන් සඳහා පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීම “සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුවේ” මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදු කරන ලදී.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සභාව අමතමින් සමාජයක් ලෙස එකිනෙකාගේ භාෂාව ඉගෙනීමේ වැදගත්කම සහ අර්ථවත් අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා ඇති ධනාත්මක ප්‍රතිඵල අවධාරණය කළේය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තම ද්විභාෂා චතුරතාව වර්ධනය කර ගන්නා ලෙස සිසුන් දිරිමත් කල අතර, එය ඉදිරි කාලය තුළ නිසැකවම වාසියක් වන බවද සදහන් කලේය. මෙම වැඩසටහන් දෙකෙහිම සිසුන් අතර සහෝදරත්වය සහ සංස්කෘතික අවබෝධය ශක්තිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් දෙකෙහිම සිසුන්ගේ සහභාගීත්වයෙන් අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් ඉදිරියේදී පවත්වන බව ආඥාපතිතුමන් පැවසීය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කතාව අතරතුර නැගෙනහිර ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා “සාමය සඳහා වූ සර්වාගමික එකමුතුවේ” අඛණ්ඩ සහයෝගය සහ කැපවීම ලබාදීම සම්බන්ධව එම සංවිධානය අගය කළේය. නැඟෙනහිර අර්ථවත් සංහිඳියාවක් සඳහා ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ රදගුරු එබනේසර් ජෝශප් පියතුමාගේ ඉමහත් සහයෝගය සහ කැපවීමද ඔහු අගය කළේය. “සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුව” සංවිධානයේ භාණ්ඩාගාරික සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ලේකම් හේමකුමාර ගුණසේකර මහතාද සභාව ඇමතූහ. “සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුව” කාන්තා අංශයේ ප්‍රධානී තිලානි විතානගේ මහත්මිය සහ “සාමය සඳහා වූ අන්තර් ආගමික එකමුතුව” නියෝජනය කරමින් ආචාර්ය ඩිලන්ත විතානගේ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

පාසල් දෙකෙහිම සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සිත් ඇදගන්නාසුළු සංස්කෘතික නැටුම්වලින් උත්සවය තවත් වර්ණවත් විය. උත්සවය අතරතුර සිසුන් විසින් වේදිකාගත කරන ලද විශිෂ්ඨ රංගනයන් සිසුන්ගේ සැබෑ හැකියාවන් අවබෝධ කර ගැනීම සදහා සුවිශේෂි අවස්ථාවක් විය. එවැනි උසස් තත්වයකට සිසුන් පුහුණු කිරීම සඳහා ගුරුවරුන් දක්වන කැපවීම සහ වෙහෙස ආඥාපතිතුමා විසින් ඇගයීමට ලක් කරන ලදී.

24 වන පාබල සේනාංකය යටතේ ඇති 243 වන පාබල බලසේනාව සහ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.