Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th January 2024 20:26:50 Hours

නැගෙනහිර ආරක්ෂක ‍සේනා මූලස්ථානය විසින් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ අවශ්‍යතා පවතින ගොවීන් සඳහා ගවයින් බෙදාදෙන ලදී

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම මත, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ අවශ්‍යතා පවතින ගොවීන්ට උපකාර කිරීම සඳහා ජීවනෝපාය ආධාර වැඩසටහනක් දියත් කර ඇත. මෙම ව්‍යාපෘතිය ගොවීන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා විසඳීම සඳහා උපකාරවේ. නැගෙනහිර ආරක්ෂක සේනාව විසින් ලබාදෙනු ලබන මෙම සහයෝගයට මූල්‍ය ආධාර සැපයීම, ගොවිපල සතුන් සැපයීම, ගොවිතැන් උපකරණ සැපයීම සදහා විවිධ සිවිල් සංවිධානවල සහයෝගයෙන් සිදුකරනු ලබයි. මේ වන විට, "සාමය සඳහා සර්වාගමික එකමුතුව" සහ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ "ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකය" මෙම වටිනා කාර්යය සඳහා දැනටමත් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

2024 ජනවාරි 13 වන දින "ශ්‍රද්ධා සමාජ සත්කාර ඒකකය" මගින් පවත්වනු ලබන "අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය" යටතේ කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේ ගොවීන් 6 දෙනෙකුට ගවයින් 16 දෙනෙකු ලබාදෙන ලදී. ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානත්වයෙන් කඩුවෙල "මහමෙව්නා අසපුව" ප්‍රදේශයේ පැවති චාම් උත්සවයකදී රුපියල් ලක්ෂ 25ක් වටිනා ගවයින් 16 දෙනෙකු තෝරාගත් ගොවීන් වෙත භාරදීම සිදුකෙරුණි. "අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියේ" පූජ්‍ය කඩවත විජිතවංශ හිමි, ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය සහ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බණ්ධීකරන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.ආර්.ජේ. කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වටිනා කර්තව්‍ය සඳහා ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතාට සහ ඔහුගේ සියලුම කාර්ය මණ්ඩලයට සහ “අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය” වෙනුවෙන් තම මහන්සියෙන් උපයාගත් ධනය පරිත්‍යාගශීලීව පරිත්‍යාග කළ සියලුම ආධාරකරුවන්ට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙනුවෙන් ලුතිනන් කර්නල් කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ප්‍රණාමය පුද කරන ලදී.