Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd September 2023 11:47:59 Hours

නැගෙනහිර ආඥාපති 22 වන පාබල සේනාංක බලප්‍රදේශයේ භට පිරිස් හමුවෙයි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ත්‍රිකුණාමලයේ 22 වන පාබල සේනාංකයේ සහ එහි අණ යටතේ ඇති පාබල බලසේනාවල 2023 අගෝස්තු මස 31 සහ සැප්තැම්බර් මස 01 යන දිනවල සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

ඒ අනුව, 2023අගෝස්තු මස 31 වන දින ප්‍රථමයෙන් ඔහු 22 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිනි අතර, ඉදිරිපස පිවිසුම් දොරටුව අභියසදී 5 (සෙව්) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ලබාදුන් වර්ණවත් කදවුරු මුරයකින් ආචාර කිරීමෙන් අනතුරුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, විසින් නැගෙනහිර ආඥාපතිවරයාව උණුසුම් ලෙස පිළිගත්හ. අනතුරුව, ඔහු සේනාංක කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, සේනාංකාධිපති විසින් සේනාංකයේ කාර්ය භාරය, කර්තව්‍යයන් සහ එහි වගකීම් පිළිබඳව දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී. තවද, ඔහු 22 වන පාබල සේනාංක භට පිරිස් ඇමතීමෙන් පසු අඹ පැළයක් සිටුවීමෙන් අනතුරුව සියලු නිළයන් සමග තේ පැන් සංග්‍රහය අතරතුර සේනාංකයේ භට පිරිස් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

පසුව නැගෙනහිර ආඥාපතිවරයා 221 වන පාබල බලසේනාව, 2 (සෙව්) ගජබා රෙජිමේන්තුව වෙත එදිනම සංචාරය කරන ලදී. බළසේනාවේදී සහ බලඇණියේදී බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිළධාරී විසින් නැගෙනහිර ආඥාපතිවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුව ඔවුන්ගේ කදවුරු වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරයේ දෙවන දිනය වන 2023 සැප්තැම්බර් මස 01 වන දින නැගෙනහිර ආඥාපතිවරයා ත්‍රිකුණාමලය දිසාපති චමින්ද හෙට්ටිආරච්චි මහතා සහ ප්‍රධාන ලේකම් ආර් එම් පී එස් රත්නායක මහතා හමුවී අදහස් හුවමාරු කර ගත්තේය. එමෙන්ම ආඥාපතිවරයා සේනාංකයෙන් පිටත්ව යාමට පෙර ඉන්දියානු තෙල් සංස්ථා‍වෙහි උප සභාපති ඩෙබන්ජන් මුකර්ජි මහතා, කෝනේශ්වරම් හින්දු කෝවිලේ ප්‍රධාන පූජක කුරුක්කල් ෂන්මුගනාථ සහ අල් දුහුල් මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි මොහොමඩ් ජව්සිනාත් යන ආගමික නායකයන්ද සේනාංකාධිපති කාර්යාලයේදී හමුවිය. අනතුරුව, නැගෙනහිර ආඥාපතිවරයා 223 සහ 222 වන පාබල බලසේනාවන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් සිය බලසේනාව වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා ගෞරව සහිතව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සියලුම බලසේනාධිපතිවරුන් තම බලප්‍රදේශයේ කාර්ය භාරයන් සහ කර්තව්‍යයන් පිළිබඳව පැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි සවිස්තරාත්මකව දැනුවත් කරන ලද අතර, නැගෙනහිර ආඥාපතිවරයා එක් එක් ස්ථානයන්හි අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන් තැබීමටද අමතක නොකලහ.

මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට සම්බන්ධ වූහ.