Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd June 2023 21:27:42 Hours

දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සදහා නව නිවසක් ඉදිකර දීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි සම්බන්ධීකරණය මත සිදුකරනු ලබන ප්‍රජා මූලික ව්‍යපෘතීන් අතරින් තවත් එක් ව්‍යපෘතියක් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකාවේ පදිංචි රොෂාන් රාජප්පා මහතාගේ රු.12000.00ක මූල්‍ය දායකත්වයෙන් කල්ලඩි, මාවඩිචේනෙයි ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර 2023 ජූනි මස 21 වනදින නිවාසලාභියා වෙත එම නව නිවස පවරාදෙන ලදී.

නැගෙනහිර නව ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකරගේ මගපෙන්වීම යටතේ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා සහ 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස්ගේ අධීක්‍ෂණයෙන්ද, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් රොෂාන් ඇරැව්වලගේ නායකත්වයෙන් යුත් භටපිරිස්හි ශ්‍රම දායකත්වය උපයෝගී කරගනිමින් නව නිවස ඉදිකරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් නිවාසලාභී ශිවකුමාර් රාමචිත්තා මහත්මිය වෙත නව නිවස සංකේතාත්මකව භාරදෙන ලද අතර, ඒ සඳහා අනුග්‍රාහක භවතුන්ද සහභාගී විය.

එහිදී මූල්‍ය දායකත්වය ලබාදුන් රොෂාන් රාජප්පා මහතා විසින් රු: 48,000.00 ක් වටිනා ගෘහ භාණ්ඩද, යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ලබාදුන් රු: 50,000.00 ක් වටිනා ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණද, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සම්බන්ධීකරණයෙන් සේරුවිල මංගල රජමහා විහාරස්ථානය හා ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව වෙතින් ලබාදුන් රු: 30,800.00 ක් වටිනා ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ කිහිපයක් ද නිවාසලාභියා වෙත ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 22 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් ඇතුළු තවත් පිරිසක්ද සහභාගි වූහ.