Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st July 2023 14:25:59 Hours

"ජනජය සාධන සමග්‍ර ශ්‍රී දේශබන්දු" යන ගෞරවනීය දේශප්‍රේමී නාමය නැගෙනහිර ආඥාපති වෙත පිරිනමන ලදී.

වැලිකන්ද ප්‍රදේශයේ බුද්ධ ශාසන චිරස්ත්තිය වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් ඉටුකල පුද්ගලයින් සඳහා දේශප්‍රේමී ගෞරව නාමය ප්‍රධානය කිරීමේ උත්සවය දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලය මගින් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. දේශහිතෛශි, දේශමාමක, මහජන ආරක්ෂාව සහ සුබසිද්ධිය වෙනුවෙන් ජීවිතය කැප කරන රණවිරුවන්, සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ කාර්‍ය අගයා වාර්ශිකව මෙම ගෞරව නාමය පුද කරනු ලබයි.

වැලිකන්ද ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් කරන ලද කැපවීම වෙනුවෙන් සහ විශේෂයෙන් සමාජ සංස්කෘතික හා ආගමික කටයුතු වෙනුවෙන් කරන ලද සේවය ඇගයීම වස් "ජනජය සාධන සමග්‍ර ශ්‍රී දේශබන්දු" ගෞරව දේශප්‍රේමී සම්මානය නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 2023.07.30 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ප්‍රධානය කරන ලදී. "දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක, බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ගරු සභාපති" අතිපූජ්‍ය සිංහපුර චේතියාලංකාර නායක ස්වාමින් වහන්සේ අතින් මෙම පදවිය පිරිනමන ලදී. තවද, එවකට නැඟෙනහිර ප්‍රදේශයේ රාජකාරි ඉටුකළ දැනට යාපනය ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි (හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර) සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග (23 පාබල සේනාංකයේ හිටපු සේනාංකාධිපති) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ද " ජනජය සාධන සමග්‍ර ශ්‍රී දේශබන්දු " සම්මානය පිරිනැමිණි. මීට අමතරව තවත් බැතිමතෙකුටද එම ගෞරව නාම සම්මානය හිමි විය.

මීට අමතරව දහම් පාසල් සිසුන් සඳහා ශිෂ්‍ය නායක අක්ත්‍රපත්‍ර ප්‍රධානය කිරීම සහ නිල ලාංඡන පැළඳවීම නැගෙනහිර ආඥාපති අතින් සිදු විය. මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරීම සදහා රාහුලාලංකාර දහම් පාසල් දරු දැරියන් විසින් නර්තන අංග කිහිපයක් ද ඉදිරිපත් කරන ලදී. උත්සවය සඳහා දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහ සංඝරත්නය, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ප්‍රභාත් හල්පගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ,නිලධාරින්,සෙසුනිලයින් සහ ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සහභාගි වූහ.