Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th June 2024 09:24:44 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් විශ්‍රාමික රණවිරුවන්ගේ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෙසෙන විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන්ගේ පරිපාලන කටයුතු පිළිබඳව සොයාබැලීමේ අරමුණින් 2024 ජුනි මස 08 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහභාගි විය.

යුද්ධ හමුදා මූලස්ථානයේ වැටුප් හා ලේඛන අධ්‍යක්‍ෂ මණ්ඩලය, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය, නීති සේවා, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය, සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය, රණවිරු සේවා හා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් උපකාරක මධ්‍යස්ථාන හතක් ස්ථාපිතව පැවති අතර ඒ සඳහා එම රණවිරුවන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සුභසාධන සහ පුනරුත්ථාපන ක්‍රියාවලීන් අළලා සැකසූ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි. යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී.

මෙම අවස්ථාවේදී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් දේශනයක් පවත්වමින් දිවංගත රණවිරුවන් අනුස්මරණය කර ඔවුන් ජාතිය වෙනුවෙන් සිදුකළ උත්තරීතර සේවයත්, යුද්ධ හමුදා භටපිරිස්හී නිර්භීතකම සහ විනයගරුක සේවයත් ඇගයීමට ලක්කළේය. අනතුරුව රැස්ව සිටි පිරිසට තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසාදෙනුු ලැබීය. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම වැඩසටහන සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඊ.එම්.ඩී.එස්. ඒකනායක මහතා, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව් .එච්.ආර්.ආර්. වී.එම්.එන්.ඩී. කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.