Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th November 2023 14:10:34 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මගින් තවත් ප්‍රජා ව්‍යාපෘතියක් - වැලිකන්ද ගැබිණි මව්වරුන්හට පෝෂණ මල්ලක් බෙදාදීම

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 233 වන පාබල බලසේනාව විසින් සංවිධානය කල වැඩසටහනකදී ගැබිණි මව්වරුන් 80 දෙනෙකු සඳහා පෝෂණ වියළි සලාක මල්ලක් බෙදාදීම 2023 නොවැම්බර් මස 23 වන දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ගැබිණි මව්වරුන්ගේ මූලික අවශ්‍යතා හඳුනාගෙන ඔහුගේ සංකල්පීය මගපෙන්වීම මත මෙම වැඩසටහන දියත් කරන ලදී. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒකේසිඑස් ද සිල්වා ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකකයේ භට පිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීම මත ඕස්ට්‍රේලියාවේ වෙසෙන දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයෙකු වන සමින්ද ජයතිලක මහතා විසින් මෙම වටිනා කර්තව්‍ය සඳහා රුපියල් 600,000ක පමණ අනුග්‍රහයක් දක්වන ලදී. බෙදාදුන් එක් පෝෂණ මල්ලක වටිනාකම රුපියල් 7500ක් පමණවේ. එම උත්සවය අතරතුරදී නෙළුම්වැව මහා විද්‍යාලයේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික නැටුම් අංගයන්ගෙන් උත්සවය තවත් වර්ණවත් කල අතර, එම උත්සව අවස්ථාවේදී පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ නෙළුම්වැව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන තත්සරණි දියණියට රුපියල් 10000 ශිෂ්‍යත්වයක්ද පිරිනමන ලදි. මෙම ශිෂ්‍යත්වය සදහා ජනිත් බණ්ඩාර මහතා විසින් අනුග්‍රහය දැක්වු අතර, ඇය උසස් පෙළ විභාගය අවසන් කරන තුරු සෑම මසකම එම මුදල දියණිය වෙත ලබාදෙනු ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, ගෞරවනීය ආරාධිතයා ලෙස සමින්ද ජයතිලක මහතාද, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි, 233වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කමල් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ භට පිරිස් උත්සවයට සහභාගී විය. මීට අමතරව සර්ව ආගමික නායකයින් සහ වැලිකන්ද අතිරේක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.හයිරුනිෂා මහත්මිය ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.