Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

22nd February 2023 10:21:59 Hours

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති "ශ්‍රි රෝහන ජනරංජන ‌දේශමාන්‍ය" ගෞරව සම්මාන උපාධි නාමයෙන් පිදුම් ලද වගයි.

ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායට අයත් දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරයේ උන්තිය උදෙසා එදා මෙදා තුර ඉමහත් සේවාවක් ඉටු කරනු ලැබු හා විවිධ දුෂ්කර අවස්ථාවලදී හා බාධකවලදී ඒ සදහා මූහුණ දෙමින් විහාරස්ථානය රැකගැනීමටත් එය සංවර්ධනය කිරීමටත් තම ශ්‍රමය ධනය හා කාලය කැපකරමින් නොමසුරුව කටයුතු කරනු ලැබූ හමුදා නිලධාරින් හා ගිහි පින්වතුන් උදෙසා ගෞරව සම්මාන උපාධි නාම පිරිනැමීමක් 2023.02.18 දින දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරයේ විහාරාධිපති කලවානේ කෝසල තිස්ස ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණය කිරීමෙන් සිදුකරන ලදී.

දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරයේ උන්තිය උදෙසා සිදුකල කැපවීම සහ විශේෂයෙන්ම සමාජ සංස්කෘතික හා ආගමික කටයුතුවලදී නොපසුබස්නා සේවය අගය කිරීම සහ ඇගයීම වෙනුවෙන් "ශ්‍රි රෝහන ජනරංජන දේශමාන්‍ය" ගෞරව සම්මාන උපාධි නාමය ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ශ්‍රී ලංකා අමරපුර මූලවංශික මහා නිකායේ රාජකීය පණ්ඩිත මහෝපාග්‍ය අතිපූජ්‍ය අහුංගල්ලේ විමලධම්ම තිස්ස මහානායක ස්වාමින් වහන්සේගේ සුරතින් පුදකරන ලදි. එසේම එම කර්තව්‍ය සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති සමග දායක වු 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම හා නැගෙනහිර නාවික ප්‍රදේශ අඥාපති රියල් අද්මිරාල් දම්මික කුමාර ජ්‍යෙෂ්ඨ නිළධාරින්හටද "ශ්‍රි රෝහන ජනරංජන දේශමාන්‍ය" ගෞරව සම්මාන උපාධි නාමය එදින පුදකරන ලදි. මෙයට අමතරව තවත් ගිහි පින්වතුන් කිහිප දෙනෙකු හටද "බුද්ධ ශාසන දේශමාන්‍ය" ගෞරව නාමය පුද කරන ලදි.

උත්සව කටයුතු නිමාවෙන් පසු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ උත්සවය සදහා සහභාගි වු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලු ගිහි පිරිස ගෞරව සම්මාන උපාධි නාම පිරිනැමීමේ උත්සවය සදහා දෙහිවත්ත සිරිවඩ්ඩන රාජමහා විහාරය වෙත වැඩමවා සිටි සංඝයා වහන්සේලා හට දහවල් දානය පිලිගන්වා පිරිකර පුජා කරන ලදි.