Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th December 2024 13:45:55 Hours

24 වන පාබල සේනාංකයේ 11 වැනි සංවත්සරය උත්සව මාලාවක් සමගින් සමරනු ලැබිය.

24 වන පාබල සේනාංකය පසුගියදා සිය 11 වන සංවත්සරය විවිධ උත්සව මාලාවන් රැසක් සමඟින් ආගමික වත්පිලිවෙත් වලට මුල්තැන දෙමින් උත්සවාකාරයෙන් සිදු කරන ලදි.24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එල්ඒසී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨනිලධාරි තුමන්ගේගෞරවනීය මගපෙන්වීම යටතේ, මෙම සංවත්සර දිනය සැමරීම සඳහා දින කිපයක් පුරාවට විවිධ ආගමික උත්සවයන් සංවිධානය කරන ලදී.

2024 ඔක්තෝම්බර් මස 26 වන දින සේනාංක මුලස්ථානයේ සිදුකරන ලද බෝධි පූජාමය පිංකමකින් සැමරුම් උත්සවය ආරම්භ වූ අතර එහිදී මෙම පාබල සේනාංකයේ සියළු දෙනා හට ආශිර්වාද ලබා දෙන ලදි. ඉන් අනතුරුව ඔක්තෝම්බර් මස 30 වන දින භික්ෂූන් වහන්සේලා එකොළොස් නමක් උදෙසා දානමය පිංකමක් පැවැත් වූ අතර එය මිය ගිය සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා වු පින් අනුමෝදන් කිරිම සහ සෙත් පැතීම ද සිදු විය.

2024 නොවැම්බර් 02 දින මල්වතු විලවාඩි විනයාගර් කෝවිලේ කෝවිල් පුජාවක් පවත්වන ලද අතර, එය බලප්‍රදේශයේ ප්‍රජාවගේ සංස්කෘතික විවිධත්වය පෝෂණය කළ සුවිශේෂී සංස්කෘතික උත්සවයක් විය. තවද මෙයට සමගාමීව සර්වාගමික සහජීවනය සඳහා සේනාංකයේ කැපවීම තවදුරටත් විදහා දක්වමින් අම්පාර ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේදී දේව මෙහෙයක් පවත්වන ලදී. 2024 නොවැම්බර් 12 වන දින සේනාංක මුලද්ථානයේ අන්තර් ශාඛා අතර ක්‍රිකට් තරඟාවලියක් 24 වන පාබල සේනාංක මූලස්ථාන ක්‍රිඩා පිටියේදි පැවැත්විණි. සේනාංකයේ සෙනින් අතර සුහදත්වය සහ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම තරඟයේ අරමුණ විය.

2024 නොවැම්බර් 20 වන දින අම්පාරේ පිහිටි සරණ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා දානමය පිංකමක් සිදු කරන ලදි. මෙම උත්සවය මගින් දයානුකම්පාවේ සහ සේවයේ වටිනාකම් පිළිබිඹු කරමින්, සමාජ වගකීම සහ වැඩිහිටි සත්කාරය සඳහා මෙම සේනාංක මුලස්ථානයේ කැපවීම අවධාරනය කරන ලදී. මෙමගින් 24 වන පාබල සේනාංකය සිය සංවත්සරය සැමරීම පමණක් නොව, ප්‍රජාව සමඟ ඇති සම්බන්ධය හා සම්ප්‍රදායන් සහ සාරධර්ම ආරක්ෂා කිරීමට ඇති කැපවීම ද පිලිබිබු කළේය.