Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd May 2023 09:41:16 Hours

222 පාබල බලසේනාව සෞඛ්‍ය සේවා කඳවුරක් සහ කෘතිම පාද පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආශිර්වාදය ඇතිව, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයක් මත සහ 222 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මාර්ගෝපදේශ හා අධීක්ෂණය යටතේ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් වන ලුතිනන් කර්නල් ප්‍රියන්ත වෑකඩපොල ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ මේජර් රොසාන් ඇරැව්වල ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහය ඇතිව පාබල බලසේනාව අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජංගම සෞඛ්‍ය සේවා කඳවුරක් සහ සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 29 දින සංවිධානය කරන ලදී.

එදින Colombo Friend in Need Society හා එක්ව වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ජංගම සෞඛ්‍ය සේවා කඳවුරක් පවත්වා කෘත්‍රිම පාද ප්‍රදානය කිරීම සහ නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීම සිදු කරන ලදී. වැඩසටහනේදී 222 පාබල බලසේනා බල ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් 100 දෙනෙකු සඳහා දියවැඩියා සායනයක් පවත්වා, පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු සඳහා කෘත්‍රිම පාද 27ක් පරිත්‍යාග කිරීම සහ පුද්ගලයින් 252 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සිදු කෙරුණි. ලබාදුන් කෘත්‍රිම පාදවලින් කෘත්‍රිම පාද 4 ප්‍රදේශයේ ආබාධිත රණවිරුවන් වෙත ප්‍රදානය කෙරිණි. වෛද්‍ය කඳවුර සහ සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සඳහා වූ මුළු වියදම ලක්ෂ 35ක් වූ අතර සියලු වියදම් Colombo Friend in Need Society විසින් සපයන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී වූ අතර, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් ජ්‍යෙෂ්ඨ නිළධාරි සහ Colombo Friend in Need Society හි ව්‍යාපෘති කළමනාකරු S.M.S බණ්ඩාර මහතා අමුත්තන් ලෙස සහභාගී විය. තවද 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීන්, බලඇණි දෙකෙහි නිලධාරීන් සහ සෙසු නිලයින් සහ ප්‍රදේශයේ ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වූහ.