Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2022 11:04:29 Hours

222, 223 පාබල බලසේනාංක විසින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලි සාර්ථකව නිමාවේ.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ සංකල්පයකට අනුව, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ උපදෙස්මත 223 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ, 222 පාබල බලසේනාවේ වැඩබලනබලසේනාධිපති, කර්නල් නිමල් චන්ද්‍රසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ අනුග්‍රහයෙන් වාලතෝට්ටම් ක්‍රීඩා පිටියේ සහ සාම්පූර් මහජන ක්‍රීඩාංගනයන්හිදී ක්‍රිකට් තරඟාවලි දෙකක් 2022 නොවැම්බර් 25, 26 සහ 27 යන දිනවල සංවිධානය කරන ලදී.

ඒ අනුව, 222 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද තරඟාවලිය සඳහා යුධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සිංහල සහ දෙමළ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් තරඟ වැදුණි. තරගාවලියේ ශූරයන් ලෙස සේරුනුවර සිවිල් ආරක්ෂක බලකා කණ්ඩායම පත් වූ අතර, සූර්නගර් කාවේරි ක්‍රීඩා සමාජය අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

ජයග්‍රාහී කණ්ඩායමට සහ අවසන් මහා තරගයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්හට ත්‍යාග පිරිනැමීම 222 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජූඩ් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් විසින් සීදුකල අතර, අවසන් ත්‍යාගය ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා 222 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති කර්නල් නිමල් චන්ද්‍රසේකර සහ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් පුද්ගලයින් රැසක් සහභාගී විය.

තවද, 2022 නොවැම්බර් 27 වන දින සාම්පූර් මහජන ක්‍රීඩාංගණයේදී 223 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලිය සඳහා යුධ, නාවික, පොලිස්, ප්‍රාදේශීය දෙමළ හා මුස්ලිම් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් තරඟ වැදුණු අතර, ඒ අතරින් සාම්පූර් ස්ටාර් A කණ්ඩායම ශූරතාවය සහ මුතූර් රියල් ස්ටාර් කණ්ඩායම තරගාවලියේ අනුශූරයන් බවට පත් විය. ක්‍රිකට් තරඟාවලියේ අවසන් ත්‍යාගය ප්‍රදානය කිරීමේ උත්සවය සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, 223 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සහභාගී විය. විදුර නාවික හමුදා පුහුණු පාසලේ ආඥාපති කපිතාන් දිසානායක ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ද , ශ්‍රී ලංකා නාවික හමුදා පැරකුම්බා කදවුරේ අණදෙන නිලධාරී, කොමදොරු එචි එමි ආර් හේරත් ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ද, ත්‍රිකුණාමලය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රහ්මණගේ මහතාද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ සිවිල් පුද්ගලයින් රැසක් සහභාගී වූහ.