Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th October 2023 10:13:41 Hours

22 වන පාබල සේනාංකය ජාත්‍යන්තර ළමා දිනය සමරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 22 වන පාබල සේනාංකයේ භට පිරිස් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් 2023 ඔක්තෝම්බර් 01 සහ 02 යන දෙදින තුළ 22 වන සේනාංක කොට්ඨාශ බල ප්‍රදේශයේ ළමුන් සඳහා විශේෂ විනෝදාස්වාද වැඩසටහන් සංවිධානය කරන ලදී. නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්කේයුපි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පීය මාර්ගෝපදේශය මත 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ උත්සව සංවිධානය කරන ලදී.

15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් ලෝක ළමා හා වැඩිහිටි දින සැමරුම් වැඩසටහනක් මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලයේ පාසල් පරිශ්‍රයේදී පවත්වනු ලැබුවේ ළමුන් 375 දෙනෙකු, ගුරුවරුන් 30 දෙනෙකු සහ වැඩිහිටියන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. එම ඒකකයේ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද ටයිකොන්ඩෝ සංදර්ශණයක් මෙන්ම විනෝදාත්මක ක්‍රියාකාරකම්, සංස්කෘතික නැටුම් ඉසව් රැසක් ද පවත්වන ලද අතර, එම අංගයන් නැරඹු සියලු දෙනාගේ පූර්ණ ඇගයීමට ලක් විය. එමෙන්ම උත්සවයට සහභාගි වූ සියලුම දෙනා සඳහා දිවා ආහාරය පිරිනැමූ අතර, පාසල් සිසුන් සඳහා ත්‍යාග ප්‍රධානය කරන ලදී. තවද, 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් පරණ මැදවච්චිය පාසලේ සිසුන් 80 දෙනෙකු සඳහා දිවා ආහාරය සහ කැලිප්සෝ සංගීතය සමඟ විනෝදාස්වාදය ලබා දෙන ලදී.

5 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් 22 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ සේවය කරන සෙසු නිලයින් 50 දෙනෙකු ඇතුළුව කන්තලේ ප්‍රදේශයේ වෙසෙන ළමුන් 150 දෙනෙකු සඳහා කන්තලේ මූලික රෝහලේදී සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. ළමා රෝග විශේෂඥ වෛද්‍ය තිලක්ෂි මදුරප්පෙරුම මහත්මිය ඇතුළු රෝහලේ ළමා වාට්ටුවේ සියලුම කාර්ය මණ්ඩලයේ සහය ඇතිව මෙම වැඩසටහන පැවැත්විණි. ළමා චිත්‍ර ප්‍රදර්ශනයකින් අනතුරුව ළමා වාට්ටුවට පිවිසෙන කොරිඩෝවේ බිත්ති සිතුවම් විවෘත කිරීම, ළමා පුස්තකාලය විවෘත කිරීම සහ ළමුන්ගේ නැටුම් හා ගායන කුසලතා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවිය. මෙම වැඩසටහන සඳහා සහභාගි වූ ළමුන් සඳහා රෝහලෙන් වටිනා ත්‍යාග සහ කෙටි කෑම වර්ග ප්‍රධානය කරන ලද අතර, 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 5 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ 222 පාබල බලසේනාවේ සිවිල් සමිබන්ධීකරණ නිලධාරි මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

තේ පැන් සංග්‍රහයක්, විශේෂ දිවා භෝජන සංග්‍රහයක්, සංගීතමය විනෝදාස්වාද වැඩසටහන් සහ පසුව ඔවුන් සියලු දෙනාටම ත්‍යාග ප්‍රධානය කිරීම ඇතුළු විවිධ විනෝදාත්මක ක්‍රියාකාරකම් සහ සංග්‍රහයන් මෙම සියලුම වැඩසටහන්වලට ඇතුළත් විය. 221, 222 සහ 223 පාබල බලසේනා විසින් බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ උත්සව සම්බන්ධීකරණය කරන ලදී. මෙම අවස්ථාවන් සඳහා බලඇණිවල අණදෙන නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පාසල්වල කාර්ය මණ්ඩලය සහ දරුවන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.