Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th October 2024 15:11:35 Hours

22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කෘතීම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 ඔක්තෝබර් මස 17 සිට 19 දින දක්වා 22 පාබල සේනාංක මූලස්ථානයේදී කෘත්‍රිම අත් පා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය. මෙම වැඩසටහන යටතේ ආබාධිත සිංහල, මුස්ලිම් සහ දමිළ වැසියන් 26 දෙනෙකු වෙත කෘතිම පාද 27 ක් පරිත්‍යාග කෙරිණි. කොළඹ අසරණ සරණ සමිතිය, කැපිටල් සිටී රොටරි සමාජය සහ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාවට ඒකාබද්ධ ආයතනයන්හි නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.