Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th January 2024 14:57:42 Hours

22 පාබල සේනාංකය යටතේ රාජකාරි නියුතු සෙබලුන් හට රටේ ප්‍රමුඛ සූපවේදියෙකු විසින් ‘සූපශාස්ත්‍ර කලාව’ පිළිබඳව දෙදින වැඩමුළුවක් පැවැත්වීම

දේශිය ආහාර ජාත්‍යන්තරයට ගෙනයාමට කටයුතු කරන ලද ගල්කිස්ස හෝටලයේ සූපශාස්ත්‍ර කටයුතු සහ ප්‍රවර්ධන අධ්‍යක්‍ෂ, සූපශාස්ත්‍ර උපදේශක දේශබන්දු සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් 2024 ජනවාරි 09 සහ 10 යන දිනයන්හීදි වැඩමුළුවක් පැවැත්වූ අතර, එම වැඩමුළුව සදහා 22 පාබල සේනාංකයේ හා චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අරක්කැමියන් තිදෙනෙකු ඇතුළුව සෙබලුන් 104 දෙනෙකු සහභාගී විය.

මෙම වැඩමුළුව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් වන මේජර් ජෙනරාල් PAM පීරිස් RSP USP psc යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ පවත්වන ලද අතර, ආසේමු (නැගෙනහිර) බළප්‍රෙද්ශය යටතේ ඇති 22 සේනාංකය සහ අසල්වැසි හමුදා කඳවුරු වල සේවය කරන සියලුම සූපවේදීන්ගේ සූපශාස්ත්‍ර කුසලතා වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

පළමු දින සැසියේදී දේශිය ක්‍රමවේදයට එළුමස් ව්‍යංජනය පිළියෙල කිරිමටත්, ඌරු මස් ඩෙවල් සහ බැදපු කුකුල් මස් පියාපත් රසවත් ලෙස පිළියෙල කිරිම පිළිබඳව වූ අතර, එම සැසියේදී ඔහු සාම්ප්‍රදායික ආහාර වල පෝෂ්‍යදායී මට්ටම පවත්වාගෙන පිළියෙල කිරිම සම්බන්ධයෙන් ඔවුන් හට ඇතිවන ගැටළු සහ විවිධ සූපශාස්ත්‍ර ක්‍රමයන් භාවිතා කරමින්ආහාර වට්ටෝරු පිළියෙල කිරිම සම්බන්ධව නව ඉගෙනුම් අත්දැකීමක් එක් කරමින් ප්‍රායෝගික සැසි පවත්වන ලදී.

දෙවන දිනයේදී, දේශීය කුළුබඩු භාවිතා කරමින් කරත්ත කරිය වැනි විවිධ ආහාර වර්ග පිළියෙල කිරිම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් ලබාදුන් අතර, සැසිය අවසානයේ වරකා වලින් ඉතා රසවත් අතුරුපසක් පිළියෙල කල අතර, උසස් මට්ටමේ ආහාර වට්ටෝරුවක් භාවිතා කර ආහාර පිළියෙල කිරිමේදි වඩාත් රහස්‍ය අමුද්‍රව්‍ය වන්නේ කරුණාව, විඥානය සහ සෞඛ්‍ය සම්පන්න බවට සූපවේදීයා විසින් සහභාගි වුවන් දැනුවත් කළේය.