Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th July 2023 11:39:15 Hours

22 සහ 23 වන සේනාංකවල භට පිරිස් එක්ව හබරණ වනාන්තරයේ ඇතිවූ ලැව් ගින්න මැඩපවත්වයි

7 වන සහ 5 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකාය, 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ යුද හමුදා භට පිරිස් 140 විසින් 2023.07.19 දින තලපත්කන්ද, හතරස්කොටුව ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී. සැතපුම් 121 කණුවේ සිට 125 වැනි කණුව දක්වා සහ වර්ග කිලෝමීටර් 7 ක පමන ප්‍රදේශයක ගින්න පැතිර යමින් තිබිණි.

ලැව්ගින්න පැතිරීමත් සමඟ හබරණ අඩවි වන කාර්යාලයේ නිලධාරීන්, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මුලස්ථානය දැනුවත් කර භට පිරිස්වල සහ ප්‍රදේශයේ අනෙකුත් නියෝජිතායතනගේ සහය පතන ලදී. 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 50 දෙනෙකු ගින්න පැතිර යන ප්‍රදේශයට කඩිනමින් ගොස් ගින්න පාලනය කිරීමේ මූලික කටයුතු සිදු කරන ලදී. ගින්න පැතිරීම අවම කිරීමට සහ අවට ප්‍රදේශය ආරක්ෂා කිරීමට ඔවුන් ගත් උත්සාහය ප්‍රශංසනීය වූ අතර කෙසේ වෙතත්, ගින්න නිවීමට අමතර සම්පත් අවශ්‍ය බව හඳුනාගෙන, 231 වන පාබල බලසේනාව සහ 23 වන පාබල සේනාංකය සමඟ සම්බන්ධීකරණය කරමින් වැඩි සහයෝගයක් ඉල්ලා සිටියේය.

ගින්න මැඩ පැවැත්වීම සදහා සහයෝගය ලබා දෙන ලෙසට 23 වන පාබල සේනාංකය විසින් සිදු කල ඉල්ලීමට ඉතා ඉක්මනින් 22 පාබල සේනාංකය ප්‍රතිචාර දක්වමින් 5 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළුව නිලධාරීන් 2 ක් සමඟ හමුදා සාමාජිකයින් 50 ක් ලැව් ගින්න නිවා දැමීම සඳහා පිටත් කර යවන ලදී. ඊට සමගාමීව 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ සහ 5 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ නිළධාරීන් දෙදෙනෙකු ඇතුලු සෙසු නිලයින් 33 දෙනෙකු ජල බව්සර් දෙකක් සහ එක් ගිනි නිවන රථයක් සමඟ මෙම තත්ත්වයට සම්බන්ධ වූහ. හිගුරක්ගොඩ ගුවන් හමුදාවද ඔවුන්ගේ එක් හෙලිකොප්ටරයක් ​​සමඟ ගින්න නිවා දැමීමට එක්විය. ඉන් අනතුරුව 22 සහ 23 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන් සහ 222 සහ 231 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන් ලැව්ගිනි ප්‍රදේශය වෙත පැමිණ ගින්න කඩිනමින් නිවාදැමීමට භට පිරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී. කෙසේ වෙතත් ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස්, ගුවන් හමුදාව සහ වන නිලධාරින්ගේ සම්බන්ධීකරණ උත්සාහයෙන් පැය හතක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි විය.

නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් වහාම ලැව්ගිනි ඇති වී ඇති ප්‍රදේශයට කණ්ඩායම් පිටත් කර යවන ලෙසට නියෝග කළ අතර පවතින තත්ත්වය අනුව ලැව්ගින්න පාලනය කිරීමට උපදෙස් දෙන ලදී. මේජර් ජෙනරාල් ජී එම් එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී සහ බ්‍රිගේඩියර් කේ වි එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී 22 වන සහ 23 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ මගපෙන්වීම යටතේ මෙම කාර්යය සිදු කරන ලදී. බ්‍රිගේඩියර් එන් එස් එස් ඩයස් ආර්එස්පී, සහ බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ 222 සහ 231 වන පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන් විසින් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කළ අතර ගින්න කඩිනමින් නිවා දැමීමට යුද හමුදා භට පිරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී. ගින්න නිවා දැමීමෙන් අනතුරුව නැගෙනහිර ආඥාපතිවරයා එම ප්‍රදේශයට ගොස් මේ සඳහා සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද හමුදා භට පිරිස් අමතා එම කටයුත්ත ඇගැයීමට ලක් කළේය.