Header Sinhala

22nd December 2022 11:51:04 Hours

විශ්‍රාම දිවියට එළඹෙන 1 බලකායේ බලකාධිපතිතුමන් වෙත 58 වන සේනාංකයේ ගෞරවාචාරය

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පුත්තලම පිහිටි 58 වන සේනාංක මුලස්ථානයෙහි අවසන් නිල සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී 2022 දෙසැම්බර් 12 දින පැවැත්විණි.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ටීඩබ්ලිව්ජි ඉහලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ නිලධාරීන් විසින් කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් සියලු භටපිරිස් අමතමින් 1 බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි සිදුකරන ලද කාලය තුළ තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත සිය කෘතවේදීත්වය පුදකරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට සිය සුභාශීංෂනයන් එක් කළේය. අනතුරුව 58 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරමින් 58 වන සේනාංකය වෙත එතුමන් ලබාදුන් සහයෝගය අගය කරන ලදී. උත්සව අවස්ථාව අතරතුර පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වූ බලකාධිපතිතුමන් එම අවස්ථාවට එක්ව සිටී භටපිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

58 සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් කලාඔය පල්ලියවත්ත ‘ලුර් දු මාතා’ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කරනු ලැබූ අතර, ඒ සඳහා 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥාණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අවසන් නිල සංචාරය අතරතුරදී සහභාගී විය. දිවා භෝජන සංග්‍රහය පිරිනැමීමෙන් අනතුරුව එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින සෑම වැඩිහිටියෙකුට වෙතම තෑගි පාර්සලය බැගින් පිරිනමනු ලැබීය.