Header Sinhala

10th February 2023 21:55:08 Hours

ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව අවසන් කරයි

නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය 2023 ජනවාරි 11 දින පවත්වන ලද අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය.

58 වන පාබල සේනාංකය වෙත සපැමිණි මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබ්ලිව්පී ආර්එස්පීපීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව පාඨමාලාව හදාරා විසිර යනු ලබන භටපිරිස්හි ආචාරයද එතුමන් වෙත පිරිනමනු ලැබිණි.

මෙම පාඨමාලාව සඳහා ගුවන් සංග්‍රාමික බළසේනාවේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 140 සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස ලාන්ස් කෝප්‍රල් ජිනරත්න ජේ.එස්.සී සහ දක්‍ෂතම වෙඩික්කරු ලෙස කෝප්‍රල් බණ්ඩාර ඩබ්ලිව්.එම්.ඩී.එන් සහතිකපත් හිමිකර ගත්හ.

විසිර යාමේ උත්සව අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශානක රත්නායක, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් සුභාත් සංජීව, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.