Header Sinhala

31st May 2024 10:52:05 Hours

58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ බලසේනා සහ බලඇණි නිල සංචාරය

58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් සී ඒ රාජපක්ෂ ආර්එස්පී ඡ්‍යෙෂ්ඨ නිලධාරින්, සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව තම සේනාංකය යටතේ ඇති බලසේනා සහ බලඇණි වෙත සිය ප්‍රථම සංචාරය සිදු කරන ලදී. සේනාංකාධිපතිතුමන් 2024 මැයි 17 වන දින කොළඹ අගනගර ප්‍රදේශයේ ආරක්ෂාව සැලසීම සඳහා දැනට කොළඹ පිහිටා ඇති 583 පාබල බලසේනාව සහ 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සංචාරය කල අතර 2024 මැයි 18 වන දින හොරණ ප්‍රදේශයේ පිහිටා ඇති 582 පාබල බලසේනාව වෙතද සංචාරය කළේය. එදිනම සේනාංකාධිපතිතුමන් දියගම ප්‍රදේශයේ පිහිටා ඇති 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ මතුගම ප්‍රදේශයේ පිහිටා ඇති 9 වන ගැමුණු හේවා බලඇණිය වෙතද සංචාරය කළේය.

ඉන් අනතුරුව, සේනාංකාධිපතිතුමන් 2024 මැයි 20 වන දින කොටගල පිහිටි 581 පාබල බලසේනාව වෙත සංචාරය කල අතර පසුදින, වසර ගණනාවකට පෙර එතුමන් අණදෙන නිලධාරි ලෙස කටයුතු කල 1 වන ගැමුණු හේවා බලකාය වෙත පැමිණියේය. 2024 මැයි 22 දින හම්බන්තොට, බෙල්ලගස්වැව පිහිටි 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙත සංචාරයෙන් අනතුරුව නිල සංචාරය නිමා විය.

බලසේනාධිපතිවරුන් හා බලඇණි අණදෙන නිළධාරීන් විසින් ‍සේනාංකාධිපතිතුමාව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඔවුන්ගේ මූලස්ථාන ප්‍රවේශ අසලදී යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කදවුරු මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව, බලසේනාධිපතිවරුන් සහ බලඇණි අණදෙන නිලධාරීන් විසින් සේනාංකාධිපතිතුමන් වෙත සිය කදවුරේ පිහිටීම, රාජකාරි සහ වගකීම් පිළිබඳව ඉදිරිපත් කිරීම් කරන ලදී. සේනාංකාධිපතිතුමා විසින් සිය සංචාරය සංකේත කරනු වස් මුලස්ථාන පරිශ්‍ර වල පැළ සිටුවා, සමූහ ඡායාරූප වලට පෙනී සිටිය අතර භඨපිරිස් සමග සියළු නිල තේ පැන් සංග්‍රහයන් සදහාද එක්විය. ‌

අනතුරුව එක් එක් ආයතනයන් වල භට පිරිස් අමතමින් රාජකාරි ඉටු කිරීමේදී උසස් අන්දමින් විනය ආරක්ෂා කරමින් වෘත්තීයභාවය උපයෝගී කර ගැනීම පිළිබඳව භට පිරිස් දැනුවත් කල අතර ඉදිරි දින සඳහා තම ක්‍රියාකාරී සැලැස්ම විස්තර කළේය. සෙබළුන්ගේ යහපැවැත්ම හා සුභසාධනය පවත්වාගෙන යාම සබැදිව බලසේනාධිපතිවරුන්ට සහ බලඇණි අණදෙන නිලධාරීවරුන්ට උපදෙස් දුන් අතර, එක් එක් බලඇණියේ කැරලි මර්ධන උපකරණ වල සූදානම සිය පරීක්ෂාවට ලක් කළේය.