Header Sinhala

20th March 2023 11:46:33 Hours

532 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

1 බලකාය යටතේ ස්ථාපිත 53 වන පාබල සේනාංකයට අයත් 532 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය නිමිතිකරගනිමින් එම බලසේනාවේ භටපිරිස් ආගමික වතාවත් සඳහා මුල්තැනක් ලබාදෙමින් හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය. මෙම සැමරුම් උත්සවය 532 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදංක අල්විස් ගේ මඟපෙන්වීම මත සඳුන්පුර ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.

සංවත්සර දිනයට ප්‍රථම (මාර්තු මස 6) දින එම බලසේනාවේ සේවයේ නියුතු භටපිරිස් විසින් සුහද ක්‍රිකට් තරඟාවලියක් සහ ‘බෝධි පූජා’ පිංකමක් පැවැත්වූහ. 2023 මාර්තු මස 07 දින පැවති සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 532 වන පාබල බලසේනා මූලස්ථානය වෙත සපැමිණි එම බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් මේදංක අල්විස් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ එතුමන් බලසේනා මූලස්ථාන කාර්යය මණ්ඩලය සහ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.