Header Sinhala

05th December 2022 09:33:47 Hours

1 බලකායේ පළමු සංවත්සරය අභිමානවත් ලෙස සමරයි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්තිමත් හා සුවිශේෂී නිපුණතාවයකින් හෙබි 1 බලකායේ පළමු සංවත්සරය අභිමානවත් අයුරින් කිලිනොච්චියේදී පැවැත්විණි.

සංවත්සර වැඩසටහන ආරම්භ කරමින් , 2022 ඔක්තෝම්බර් 10 වන දින කිලිනොච්චියේ ජුම්මා පල්ලිය, ඉරණමඩු කනගම්බිගයි හින්දු කෝවිල හා කිලිනොච්චියේ ශාන්ත තෙරේසා දේවස්ථානයේ ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදි. ඉන් අනතුරුව 1 බලකායේ භට පිරිස් වෙත ආශිර්වාද ලබා ගැනිම සදහා 2022 ඔක්තෝම්බර් 14 වැනි දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්විණි.

1 බලකායේ 1 වන සංවත්සර දිනය නිමිත්තෙන් බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් 2022 ඔක්තෝම්බර් 17 වන දින කිලිනොච්චියේ "නෙළුම් පියස" හිදී 1 බලකායේ භට පිරිස් ඇමතීමක් සිදු කල අතර එහිදි ක්‍රිකට්, පාපන්දු, එල්ලේ, වොලිබෝල්, කඹ ඇදීමේ, සංග්‍රාමික වෙඩි තැබීමේ තරගය සහ මැරතන් යන ක්‍රීඩා තරඟාවලි වල දක්‍ෂතා දැක්වුවන් වෙනුවෙන් ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරිමක් සිදු කරන ලදි.

1 බලකායේ පළමු සංවත්සරයේ ප්‍රධාන උත්සවය ලෙස 1 බලකායේ බලකාධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ 2022 ඔක්තෝම්බර් 21 වන දින 1 බලකායේ සංචාරයක නිරත විය.

1 බලකායේ කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

අනතුරුව, 1 බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලද අතර, එහිදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 1 බලකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනීසිටි අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ සදුන් පැලයක්ද රෝපණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු 1 වන බලකායේ නිලධාරීන් ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ අතර, එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් 53 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට සහ ඔවුන් දිරිගැන්වීමක් ලෙස මසකට රු.2000.00 බැගින් වසරක් සඳහා වූ මූල්‍යමය ශිෂ්‍යත්වයන් ප්‍රදානයක් සිදුකරනු ලැබිනි. එම උත්සවයේ පිළිගැනීමේ කථාව බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් සිදුකරන ලදී. ප්‍රථිලාභි පාසල් සිසුසිසුවියන් තෝරාගැනීම සඳහා ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ පාසල් විදුහල්පතිවරුන්ගේ සහය හිමිවිය.

ඉන් අනතුරුව, සංවත්සර දිනයට සමගාමීව 1 වන බලකා මූලස්ථානය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සිසුසිසුවියන්ගේ කලා කුසලතාවයන් ඔප්නැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘'Glory of Kilinochchi’ චිත්‍ර තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ සිසුසිසුවියන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මූල්‍යමය ත්‍යාගයන් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එම තරඟාවලිය සඳහා පාසල් 66 ක් නියෝජනය කරමින් අයදුම්කරුවන් 225 ක් ඉදිරිපත් වී තිබූ අතර, සහභාගි වූ සියලුම දෙනා වෙතද සහතිකපත් ප්‍රදානය කරන ලදී.

සංවත්සර සැමරුම් දින උත්සවයට සමගාමීව පවත්වන ලද ක්‍රීඩා තරඟ මාලාවේ ජයග්‍රාහකයින් සඳහා වූ කුසලාන සහ සහතිකපත් ප්‍රදානයද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිනි.

මෙහිදී සංවත්සර සැමරුමට තවත් සුවිශේෂි බවක් එක් කරමින් 1 වන බලකායේ සුවිශේෂීත්වය සහ හැකියාවන් ඉස්මතුකරමින් රචිත 1 බලකායේ ගීතයද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලද අතර, එම ගීතයේ මංගල සීඩී තැටිය එම බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 බලකායේ සියළු භටපිරිස් අමතමින් බලකායේ සංවත්සර සැමරුම නිමිත්තෙන් සිය සුභාශිංසන එක කළ අතර, 1 බලකාය ආරම්භකර ගත වූ වසරක කාලය තුළ විශිෂ්ඨ අයුරින් සිදුකරන ලද කාර්යභාරයන් සහ වගකීම් ඇගයීමට ලක් කළේය. රටේ හදිසි අවස්ථාවලදී, ආරක්‍ෂාවට, ස්වභාවික විපත්වලදී හෝ වෙනත් ආකාරයකින් සිදුවිය හැදි ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා නිරතුරුවම සූදානමින් සිටීමේ වැදගත්කම ද අවධාරණය කරමින් මෙම බලකායේ ‘වේගවත්, නිර්භීත, අභීත’ යන ආදර්ශ පාඨය පෙරදැරිව එම වගකීම් නිසියාකාරය රටේ සිවිල් ජනතාවගේ යහපත වෙනුවෙන් ඉටු කල යුතු බවත් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙහිදී 1 බලකාය සඳහා දැඩි අවශ්‍යතාවයක්ව තිබූ, නවතමයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාවද සංවත්සර සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කරන ලදී. අනතුරුව එතුමන් විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

සංවත්සර සැමරුම් දින උත්සවය අවසානයේදී 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළ අතර, අධික කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගීවීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙහීදී කෘතවේදීත්වයද පුද කරන ලදී.

අවසාන වශයෙන්, 1 වන සංවත්සර වැඩසටහන 1 බලකායේ සියලුම නිලයන් සහභාගී වූ සංගීත රාත්‍රියකින් සාර්ථකව අවසන් කරන ලදී.

මේජර් ජෙනරාල් ටිජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු - මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් ඩිජිඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු , සේනාවිධායක- ශ්‍රිලංයුහස්වේබමු, මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඒඑස්එස් වනසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩියු, ආඥාපති - ආරක්ෂක සේනා මුලස්ථානය (මුලතිව්), එම්ජිඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව්එම්සීබී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී - විධායක ජෙනරාල් , සේනාංකාධිපතිවරුන්, මුලස්ථාන 1 බලකායේ හි ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් / අනෙකුත් නිලධාරීන් සහ අනෙකුත් නිළයන් සහ 1 බලකායේ අණදෙන නිළධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.