Header Sinhala

11th June 2023 13:37:01 Hours

1 බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

1 බලකායේ නව බලකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.06.08 වන දින 1 බලකා මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා 1 බලකා කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත ඔහුගේ මව් රෙජිමේන්තුව වන ගජබා රෙජිමේන්තුව විසින් හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් පීසීඑල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ඉතා උණුසුම් අයුරින් නව බලකාධිපති තුමන් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරාල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 1 බලකායේ 4 වන බලකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

නව බලකාධිපතිතුමන් 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතමින් බලකායේ අනාගත අභිවෘද්ධිය උදෙසා තම ඉදිරි දැක්ම සහ මෙහෙවර පැහැදිලි කරනු ලැබීය. ඉන් අනතුරුව එදින උත්සවයේ වැඩකටයුතු සමාප්තියට පත් කරමින් මේජර් ජෙනරල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු කොනොනි සමාජ ශාලාවේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී විය.