Header Sinhala

07th June 2024 09:00:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරින් 1 බලකායේ ක්ෂේත්‍ර සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී සහ එස්සී 21 පාඨමාලාවන්හී කෙඩෙට් නිලධාරින් 2024 මැයි මස 31 දින 1 බලකා මූලස්ථානයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතවූහ. එම පාඨමාලාවන්හී විෂය මාලාවේ කොටසක් ලෙස සිදුකරනු ලැබූ මෙම සංචාරයේදී 1 බලකායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පුළුල් අවබෝධයක් ලබාගත්හ.

සංචාරයේ නිරත කෙඩෙට් නිලධාරින්, 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් එම බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජීපීපී කුලතිලක එන්ඩීසී විසින් පිළිගනු ලැබීය. මෙම සංචාරය සඳහා කෙඩෙට් නිලධාරින් 237 දෙනෙකු සහභාගී වූහ.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 1 බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිනන් කර්නල් එල්කේජේ හර්ෂප්‍රිය ආර්එස්පී විසින් එම බලකායේ කාර්යභාරයන් පිළිබඳ සංචාරයේ නිරත කෙඩෙට් නිලධාරින් දැනුවත් කළේය. අනතුරුව, එම අවස්ථාව සංකේතවත් කරමින් කෙඩෙට් නිලධාරින් අතරින් ජ්‍යෙෂ්ඨතම කෙඩෙට් නිලධාරී විසින් එම බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සහ කෙඩෙට් නිලධාරීන් අතර සුහඳ අදහස් හුවමාරුවක් සිදුකෙරිණි. මෙම අවස්ථාවට 1 බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.