Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

ගජබා රෙජිමේන්තුවේ පියා

මේජර් ජෙනරාල් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි



දේශප්‍රේමීත්වය ජන්මයෙන්ම උරුමව ඇති දකුණු ලක මාතර තළල්ලෙහි පදිංචි වනිගමුණි පීටර් මෙන්ඩිස් විමලරත්න මහතාගේ සහ බේරුවල මුල්ලෙපිටියේ සාලින් කුමාරසේකර මැතිණියට දාව 1940 අගෝස්තු මස 25 වන දින කොළඹ සොයිසා රෝහලේදී උපත ලද වනිගමුණි ඉන්ද්‍රජිත් විජයකුමාර මෙන්ඩිස් විමලරත්න සහෝදරයන් නවදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනි දරුවාය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් තම සිප් සතර හදාරා දේශය ආරක්ෂා කිරිමේ උදාරතර කාර්ය ඉටු කිරිම සඳහා 1961 ඔක්තෝබර් මස 21 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට බැඳී ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මුලික යුධ පුහුණුව හදාරන ලදි. එම පාඨමාලාවේදී සාර්ථක හමුදා දිවියක ලක්ෂණ සනිටුහන් කරමින් විදේශිය කෙඩෙට් නිලධාරියෙකු ලෙස ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ බළඇණි කෙඩෙට් විධායක අධිකාරි තනතුරට පත් වු ප්‍රථම විදේශීය කෙඩෙට් නිලධාරියා ලෙස සටහන් තබා සාර්ථක ලෙස තම යුධ පුහුණුව නිම කරන ලදි. පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු 1963 අගෝස්තු මස 01 වන දින නි/50368 2/ලුතිතන් ඩබ්ලිව් අයි වී කේ එම් විමලරත්න ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබළ හමුදාව වෙත ඇතුලත් විය.පසුව මෙම නිලධාරි 1965 වසරේ ලුතිතන් නිළය දක්වාත්, 1968 වසරේ කපිතන් නිළය දක්වාත්, උසස්වීම් ලැබ අභිනවයෙන් නගාසිටුවනලද ගැමුණු හේවාබළඇණිය වෙත 1969 නොවැම්බර් මස 02 වන දින ආරම්භක සාමාජිකයෙකු වශයෙන් එක්වීය. පසුව මැලේසියාවේදී පැවැත්වුන වනාන්තර යුධ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමාකර නැවත පැමිණීමෙන් පසු ප්‍රතිත්‍රස්ථ හා නගරබද සටන්ක්‍රම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මුලින්ම හඳුන්වාදෙන ලදි. මේජර් ජෙනරාල් විජය විමලරත්න කැම්බල්හි බ්‍රිතාන්‍ය යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1982 වසරේදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ පළමුවන බළඇණියේ අණදෙන නිලධාරියා ලෙස පත් වු අතර, 1982 ජුලි මාසයේදි ලුතිතන් කර්නල් නිලයට උසස්වීම් ලැබීය. එවකට විසුරුවා හරින ලද 1 වන රජරට රයිෆල් භඨ පිරිස් හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භඨ පිරිස් ඒකාබද්ධ කොට වර්ෂ 1983 ක් වු ඔක්තෝබර් මස 14 වන දින 1 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව නමින් ජන්ම ලද ප්‍රෞඩ රෙජිමේන්තුවේ නිර්මාතෘ වශයෙන් තම නාමය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට එක් කළහ.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විවිධ වු මාණ්ඩලික සහ උපදේශක තනතුරු ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුල හොබවා මහත් වෙහෙසක් ගෙන ගජබා රෙජිමේන්තුව නගා සිටුවා එහි සටන්කාමී හා එකමුතුකම හරහා අනෙක් පාබල රෙජිමේන්තු වෙත ආදර්ශයක් ලබාදුන් ඔහු ගජබා රෙජිමේන්තුවේ ප්‍රථම ආඥාපති වේ.

නිවැරදි නායකත්වය නිසි මාර්ගෝපදේශනය හා ආදර්ශ තුලින් ඉතා කෙටි කලක් තුලදීම තම බළඇණිය විශිෂ්ඨතම පාබල බළඇණියක් බවට පරිවර්ථනය කරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රායෝගික මෙන්ම න්‍යාත්මක හමුදා දැනුමෙන් තම භඨපිරිස් පෝෂණය කිරිම සදහා සෑම විටම අවධානය යොමුකරන ලදී. ඒ තුලින් ඉහලම තලයේ නිලධාරින් මෙන්ම සෙබළුන් බළඇණිය තුළ බිහිකර ගැනීමට හැකිවන ලද අතර, සෑම කටයුත්තකදීම උසස් ප්‍රථිපල නෙලා ගැනිමටද එය මහගු පිටුවහලක් විය. පසුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ 1987 වර්ෂයේදී දියත් කළ පළමු මෙහෙයුමවන "ඔපරේෂන් ලිබරේෂන්" හි දී බළසේනා 03 ක් සඳහා බළසේනාධිපති ලෙස පත් කරන ලදී. තවද ඔහු ඒ වන විට යාපනය ප්‍රදේශයේ නියෝජ්‍ය ආරක්ෂක සේනා ආඥාපති ලෙසද කටයුතු කරන ලදි. තමා යටතේ සිටි සෑම නිලයෙක්ම සෑම අනතුරකදීම හා අවදානමකදීම ඉන් මුදවා ගැනිමට උත්සුක වු මෙම නිලධාරි තමා යටතේ සිටි කිසිදු නිලයෙකුගේ හමුදා ජීවිතය හෝ සිවිල් ජිවිතයට අහිතකර වන කිසිදු තීන්දුවක් නොගන්නා ලදී. 1990 දී යාපනය කොටුව ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගැනීම මෙන්ම 1991 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද බලෙව්ගය මෙහෙයුම සඳහාද නායකත්වය ලබා දෙමින් ඔහු අප්‍රතිහත කාර්යභාරයක් ඉටු කළේය. ඉතාමත් නිර්භීත වු පුද්ගලයෙකු වශයෙන් යාපනය ප්‍රදේශයේ සිදුවූ සෑම හදිසි සිදුවීමක් සදහාම හමුදා භඨපිරිස් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළේය.

මේජර් ජෙනරාල් විජය විමලරත්න සිය මාණ්ඩලික රාජකාරි කටයුතුවලදී ඉතා සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලද අතර, තමා යටතේ සිටින මාණ්ඩලික නිලධාරින් කෙරෙහි ඔහු දැක්වූ විශේෂ සැළකිල්ල හේතුවෙන් ඔවුන්ගේ රාජකාරින් හා අධ්‍යයන කටයුතු වල මනා ප්‍රගතියක් පෙන්වන ලදි.

ඔහුගේ අවසාන පත්වීම වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙසය. ඔහුගේ දර්ශනය හා කැපවීම අන් අයට ඔවුන්ගේ හමුදාමය වෘත්තීන් සාර්ථක කර ගැනිමට එය අගනා මූලාශ්‍රයක් විය. සෑම විටම පෙරමුණ ගෙන නායකත්වයෙන් ක්‍රියා කිරිම බොහෝ මෙහෙයුම්වල සාර්ථකත්වයට තුඩු දුන්නේය. විධිමත් සැලසුම් සකස් කිරීමක් සාර්ථක මෙහෙයුම් කරගෙන යාමට ඉතා අවශ්‍ය සාධකයක් බවට ඔහු දැඩි ස්ථාවරයක සිටියේය. තවද, භටපිරිස් ස‍ඳහා අවශ්‍ය පහසුකම් සකස් කර ගැනිම ඉතා වැදගත් බව ඔහු සෑම විටම සහතික කළේය. විනයගරුක මෙන්ම මහත් කැපවීමෙන් රාජකාරි කරනු ලබන නිලධාරියෙක් වශයෙන්, ඔහු යටතේ සේවය කරන සියල්ලන්ගෙන්ම විශිෂ්ඨ සේවාවක් අපේක්ෂා කළේය. ඔහු සෘජු, මිත්‍රශීලී හා සාධාරණ පුද්ගලයෙකු විය. ඔහු යටතේ රාජකාරීන් කරනු ලබන සියල්ලන්ම ඔහු පිළිබදව දැඩි විශ්වාසයක් තැබු අතර, සෑම විටම ඔහු හට මුළු හෘදයාංගම සහයෝගය ලබාදෙන ලදි. මෙයට හේතුව වුයේ ඔවුන් සෑම විටම ඔහුගේ ආත්ම ශක්තිය සහ ධෛර්යය මෙන්ම ඔහුට ලබා දෙන ඕනෑම කාර්යක් සාර්ථකව නිම කරන බවට ඇති විශ්වාසය මතයි. ඔහු සෑම විටමඅනාගත පරිශිලනය සදහා සිදුකරනු ලැබු උසස් ක්‍රියාන්විතයන් වාර්ථාවන් ලෙස ගොණු කිරිමට ක්‍රියා කළහ.

මේජර් ජෙනරාල් විජය විමලරත්න 1970 ක් වු මාර්තු මස 13 වන දින මානෙල් මංගලිකා මෙනවිය සමග විවාහ වූ අතර, ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක වූහ.



රට දැය වෙනුවෙන් දිවි පිදීම

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් උතුරු අර්ධද්වීපය මුදා ගැනීම සඳහා “Operation Final Countdown” නම් මෙහෙයුම සැළසුම්කර එය කෙටි කලකින් දියත් කිරීමට නියමිතව තිබුණි. එම කාල වකවානුවේදී යාපනය බලසේනාපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් විජය විමලරත්න, උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ උතුරු ප්‍රදේශ භාර නාවික ආඥාපති කොමදෝරු මොහාන් ජයමහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලෑන්ඩ් රෝවර් රථයකින් ගමන් කරමින් සිටියදී 1992 අගෝස්තු මස 08 වන දින යාපනය කයිට්ස් දූපතේ අරාලි තුඩුවේදී ත්‍රස්ථවාදින් විසින් අටවන ලද පීඩන බෝම්බයකට හසුවූ අතර, බ්‍රිගේඩියර් විජය විමලරත්න සෙන්පතිදුන් එම අවස්ථාවේදිම දැයෙන් සමුගන්නා ලදී. ඉන්පසු ඔහු මේජර් ජෙනරාල් නිලයටඋසස් කරන ලදි.

තම රට හා ජාතිය වෙනුවෙන් ජීවිතය පුදකල ගෞරවාන්විත සෙන්පතියෙකු හා විශිෂ්ඨ නිලධාරියෙකු මෙන්ම රණශූරයෙකු වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පති නාමය ශ්‍රී ලංකා යුධ වංශ කතාවේ සදා නොමැකි පවතිනු ඇත.