Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

රෙජිමේන්තු ධජය හා රෙජිමේන්තු ලාංඡනය

රෙජිමේන්තු ධජය

ඓතිහාසික රණකාමී වර්ණයක්ගේ සංයෝජනයක් රෙජිමේන්තු ධජයේ අඩංගු වේ. ධජය වටා රන්වන් සහ කොල පැහැති කුඩා දාර සහිත සම්මත ප්‍රමාණයේ තීරු දෙකකින් සමන්විත වන අතර, ධජයේ වැඩි කොටසක් රතු පැහැයෙන් යුක්ත වේ. රන්වන් හා රිදී පැහැයෙන් යුත් රෙජිමේන්තු ලාංඡනය ධජයේ මධ්‍යයේද එයට ආරක්ෂාව සැපයීම සඳහා සතර කොනොහි හෙලි තුඩු හතරක්ද අඩංගු වේ. ධජය වෙනත් චාරිත්‍රානුකූල ධජයන්ට වඩා වෙනස් ස්වරූපයක් ගනී.

රතු පැහැය - පුරාණ ශ්‍රී ලංකාවේ ජය පාට හෙවත් ජයග්‍රහණය පිළිඹිඹු කළ වර්ණය මෙය විය. මේ හේතුවෙන් රතු පැහැයට ධජයේ මුල් තැනක් ලබාදෙන ලදි.

රන් පැහැය - මෙම වර්ණය රජරට රජවරන්ගේ සමෘද්ධිය හා විචිත්‍ර භාවය සංකේතවත් කරයි. දුටුගැමුණු රජ සමයේ පටන් රතු හා රන්වන් පාට රජරට ප්‍රදේශයේ වර්නයක් ලෙස භාවිතා වු බවට සාක්ෂි ඇත.

කොළ පැහැය - මෙම වර්ණය ‍සෙ!භාග්‍යයේ සංකේතයයි. රජරට ප්‍රදේශයේ සාරවත් කෙත්වතු සහ සශ්‍රීකත්වය මෙම වර්ණයෙන් පිළිඹිඹු වේ.


රෙජිමේන්තු ලාංඡනය

ශ්‍රී ලාංකේය අපටම උරුම වු කීර්තිමත් ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. එමෙන්ම අපටම ආවේණික වු අතීත සහ වර්තමාන හමුදාමය චාරිත්‍රයක් ඇත. ඒවයේ ආභාසය නව රෙජිමේන්තුවට ලබාගැනීමේ අරමුණ ඇතිව රෙජිමේන්තු ලාංඡනය නිර්මාණය කර ඇති අතර, එම ලාංඡනය සඳහා පළමුවන ගජබා රජු සමයේ භාවිතා කරන ලද අවි ආයුධ යොදාගෙන ඇත. කලාත්මක කැටයමින් යුත් පලිහක්ද, පසුතලයේ හා ඉදිරියේ බෙහෙත් අං යුගලක් මත සිට වු හරස් කෙටේරි යුවලක්ද මෙම ලාංඡනයේ අඩංගු කර ඇත.


ලාංඡනයේ දැක්වෙන පැරණි අවි ආයුධවල වැදගත්කම

කෙටේරිය - බෙහෙත් අං යුවලක් මත හරස් කෙටේරි යුගලක් ලාංඡනයේ පිලිඹිඹු වේ. ගජබා රජු සමයේ පාබළ සේනා විසින් භාවිතාකල කෙටේරිය ද්වන්ද සටන්වලදී මෙන්ම දුර සිට සතුරා වෙත දමා ගැසීමට උපයෝගී කරගන්නා ලදි.

බෙ‍හෙත් අඟ - කෙටේරි යුගල රැඳී ඇත්තේ කැටයම්කර ඔප දමන ලද බෙහෙත් අං යුගලක් මතය. මෙම බෙහෙත් අඟ ද පාබළ සේනාවට ආවේණික වුවකි. රෙජිමේන්තු ආදර්ශ පාඨය මේ මත සටහන් කර ඇත. බෙහෙත් අං යුගලයේ දෙකෙලවර ඇති කෝප්පාකාර වු පියන් අවශ්‍ය පමණ වෙඩි බෙහෙත් මැන ගැනීමට භාවිතා කරන ලදි.

යුධ පළිහ - සතුරා සමග ද්වන්ද සටන්වලදී අසිපත්, කෙටේරි, හෙල්ල වැනි අවි ආයුධ භාවිතාකළ පාබළ සෙබළුන් සතුරු ප්‍රහාර වැළැක්වීම ස‍ඳහා භාවිතාකළ ආයුධයකි. එය ගජබා ලාංඡනයේ අඩංගුකර ඇත්තේ එහි වැදගත්කම පෙන්නුම් කිරීමටය.

ලාංඡනයේ මෙන්ම එය පැළඳි සෙබළා අලංකාර කරනු වස් එය නිර්මාණයේදී රිදී හා රත්‍රන් සංයෝජනයක් යොදාගන්නා ලදි. ගජබා නාමය ලාංඡනයේ මුදුනේ දැක්වේ.