Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th February 2024 13:16:58 Hours

10 වැනි බළඇණිය ගජබා රෙජිමේන්තුව සිය 30 වන සංවත්සරය මහත් අභිමානයෙන් සමරයි

ශ්‍රි ලංකා මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය හා සාමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් වසර 30ක් පුරා රට තුළ පැවැති කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ සටනේදී පෙර ගමන්කරුවෙකු වූ අභිමානවත් ගජබා පවුලට අයත් 10 බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 13ක් සහ සෙසුනිලයන් 452ක් තම වටිනා ජීවිත පූජා කර ඇති අතර සාමය ඇති කිරීමේ සටනේදී නිලධාරීන් 92ක් සහ සෙසු නිලයන් 2345ක් බරපතළ තුවාල ලබා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව ඇති මෙම බළඇණිය සිය 30 වන ජන්ම දිනය පසුගිය දින සමරනු ලැබීය.

ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් බලඇණියක් වන 10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුව සිය 30 වන සංවත්සරය 2024 ජනවාරි 07 වන ඉරිදා දින සර්ව ආගමික වතාවත් වලට මූලිකත්වය දෙමින් 2024 ජනවාරි 04 සහ 05 යන දිනයන්හිදී, කතරගම දේවාලයේ, ශ්‍රී දළදා මාලිගාවේ, ශාන්ත පාවුළු දේවස්ථානයේ, මීරා මක්කම් ජුම්මා පල්ලිය හාජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල ආගමික වතාවත් සිදුකරමින් ධජ ආශිර්වාද පූජාවන් සිදු කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්විණි. අනතුරුව මහනුවර පිළිකා රෝහලේ රෝගීන් සඳහා තැඹිලි පැන් සංග්‍රහයක්ද සිදු කරන ලදී.

බළඇණියේ 30 වන ජන්ම දිනයේදී උත්සව අවස්ථාව ආරම්භ කරමින් කඳවුර වෙත පැමිණි අණදෙන නිළධාරී මේජර් නිශාන්ත වීරතුංග ආර්එස්පී වෙනුවෙන් අභිමානවත් කඳවුරු මුරයකින් හා ඒකකයේ දෙවන අණදෙන නිලධාරි මේජර් හසිත බංඩාර ගේ අණදීම යටතේ විචිත්‍රවත් සම්මාන පෙළපාලියකින්ද ආචාරය පිළිගන්වන ලදී. පසුව උත්සවයට පැමිණි සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අණදෙන නිළධාරී විසින් කඳවුරු පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘‘කොනොනි සමාජ ශාලාවේ” සමාරම්භක ඵලකය නිරාවරණය කර එය විවෘත කර, සඳුන් පැළයක්ද රෝපණය කිරීමෙන් දිනයට මතකයන් එක් කරන ලදී.

30 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති උත්සව මාලාවට සමගාමීව, අණදෙන නිළධාරී, දෙවන අණදෙන නිලධාරි, කණ්ඩායම් අණදෙන නිළධාරීන්, ඛණ්ඩභාර නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර් සහ සියලුම නිලයන්ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.