Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

20th January 2023 09:06:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගජබා රෙජිමේන්තුවෙහි 4 වන බළඇණිය ප්‍රථිස්ථාපනය කරයි

2007 වර්ෂයේදී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයක් ලෙස ස්ථාපනය කරනු ලැබූ 4 වන බළඇණිය නැවත ස්ථාපනය කරමින් එම ඒකකයේ සම්ප්‍රදායානුකූල ධජ ප්‍රදානෝත්සවය 2023 ජනවාරි මස 20 දින සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබූහ. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

1987 අගෝස්තු 15 වන දින ස්ථාපනය කරනු ලැබූ 4 වන බළඇණිය මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමෙහිලා සුවිශේෂී සේවාවක් ඉටු කළ ඒකකයකි. මෙහෙයුම් අවශ්‍යතා මත එම ඒකකය විසුරුවා හැර 2007 පෙබරවාරි මස 04 දින 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ලෙස ප්‍රථිස්ථාපනය කරන ලදි. වසර 23 කට ආසන්න කාලයකට පසුව වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබූ යුද්ධ හමුදා නියෝගයක් ක්‍රියාවට නංවමින් ගජබා රෙජිමේන්තුවේ කනිෂ්ඨතම නිත්‍ය ඒකකය වන 24 වන බළඇණිය විසුරුවා හැර 4 වන බළඇණිය මෙසේ නැවත ස්ථාපනය කරන ලදි.

වර්ෂ 1993 - 1994 කාලය තුළ 4 වන බළඇණියෙහි විධායක අධිකාරි වශයෙන් රාජකාරි කරනු ලැබූ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින්ම 24 වන බළඇණිය නැවතත් 4 වන බළඇණිය ලෙස ප්‍රථිස්ථාපනය කිරීම සනිටුහන් කිරීම සංකේතවත් කරමින් සම්ප්‍රදානුකූලව ඒකක ධජය ප්‍රදානය කිරීම මෙම උත්සවයේ විශේෂත්වයක් විය.

ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේආර් කළුපහන ආර්එස්පී යූඑස්පී විසින් කඳවුරු පරිශ්‍රයෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, 4 වන බළඇණියෙහි භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රථමයෙන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා තම ගෞරවාචාරය පිරිනමන ලදී.

මේජර් ජීඑස් හේරත් විසින් අණදෙන ලද සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය. එහිදී එතුමන් සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව 4 වන බළඇණියෙහි ධජය සංකේතාත්මකව 4 වන බළඇණියෙහි අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්එම්ඒ උදය කුමාර වෙත භාර දෙනු ලැබුවේ එම බලඇණියේ අතීත ශ්‍රී විභූතිය, ගෞරවය සහ අභිමානය යළි ඔපවත් කරමිනි.

උත්සවය අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සරඹ භූමියේ රැස්ව සිටි භටපිරිස් අමතමින් ප්‍රථිස්ථාපනය කරනු ලැබු 4 වන බළඇණියෙහි ඉදිරි ගමන වෙනුවෙන් සිය සුභ පැතුම් එක් කළේය. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක්ද රෝපණය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරල් සීඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 52 පාබල බල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේපීඑස්ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්ජීඩබ්ලිව්ඩබ්ලිව්ඩබ්ලිව්එම්සීබී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ පෙර පැවති 4 වන බළඇණියෙහි රාජකාරීන් සිදුකරන ලද විශ්‍රාමක ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.