Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

15th October 2018 16:10:09 Hours

ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය වෙනුවෙන් රෙජිමේන්තූ අධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන සුභ පැතුම් පණිවුඩය


රෙජිමේන්තු මධ්‍යස්ථානය ගජබා රෙජිමේන්තුව
REGIMENTAL CENTRE THE GAJABA REGIMENT

ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය වෙනුවෙන්
රෙජිමේන්තූ අධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන සුභ පැතුම් පණිවුඩය

දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරක‍ෂිත කිරීමෙහිලා පක‍ෂපාතීව සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශිෂ්ට පාබල රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය වෙනුවෙන් ඔබ සැම වෙත රෙජිමේන්තු අධිපති වශයෙන් පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.

ශ්‍රී ලංකා ධරණිතලය තුළ ඵෙතිහාසික මෙන්ම පුජනීය වු දේශයේත්, අප ජාතියේත්, සංස්කෘතියේත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රජරට අනුරාධපුරවරය කේන්ද්‍ර කරගනිමින් ඉතාමත් සුවිශේෂී “ගජබා” නමින් රෙජිමේන්තුවක් වර්ෂ 1983 ක් වු ඔක්තෝබර් මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ජනිත විය. එසේ ජනිත වු ගජබා රෙජිමේන්තුව වෙත ජන්මයෙන්ම අප ජන්ම භූමියේ ගෞරවය, ඒකීය භාවය, ජාතියේ ආරක‍ෂාව සුරක‍ෂිත කිරිමේ භාරදුර කාර්යය පැවරී ඇත. එබැවින් ගෙවී ගිය වසර 35 ක් පුරාවට රටට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී හා ශ්‍රී ලංකාද්වීපය ත්‍රස්ත ග්‍රහණයෙන් පීඩා විඳීමේදී එම ත්‍රස්තවාදයට එරෙහිව නොසැලෙන අධිෂ්ඨානයෙන් සටන්කර අනාගත පරපුර වෙත නිවහල් දේශයක් උරුම කිරීමේ පවිත්‍ර චේතනාවෙන් යුධමය වශයෙන් ලද සියලූ බලවේග පරාජය කරමින් තිරසාර සාමය හා සංහිඳියාව උදාකරගත් මෑත ඉතිහාසයේ ලෝකයේ එකම යුද්ධ හමුදාව වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමස්ත ලෝකයේම අතිමහත් ගෞරවාදරයට පාත්‍ර විය. එම ජාතික මෙහෙවර සඳහා සෘජුවම දායකත්වය සැපයු රෙජිමේන්තු අතර ඉදිරියෙන්ම සිටිමින් ගජබා රෙජිමේන්තුව කරන ලද කැපකිරීම් ඉමහත්ය. ඒ සඳහා අප රෙජිමේන්තුවේ නිර්මාතෘවරයාණන් වු දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න වීර සෙන්පතියාණන් අප වෙත ලබාදුන් නිවැරදි නායකත්වය සහ නිසි මාර්ගෝපදේශනය සෘජුවම ඉවහල් වු බව මා මේ මොහොතේ සිහිපත් කල යුතුය.

එලෙස විශිෂ්ට රණකාමී රෙජිමේන්තුවක් ලෙස දක්වන ලද වික්‍රමාන්විත භාවය වෙනුවෙන් සමස්ථ යුද්ධ හමුදාවේම ඉතිහාසය තුළ ප්‍රථම හා එකම වරට 1991 වසරේදී කපිතන්, ලූතිනන් හා 2/ලූතිනන් නිලයන්හි නිලධාරීන් තිදෙනෙකු හට සහ සැරයන් නිලයේ ජ්‍යෙකොනොනිවරයෙකු හට වීර වික්‍රම විභූෂණ පදක්කම, රණ වික්‍රම පදක්කම හා රණශූර පදක්කම එකවර හිමිගැන්වීම අප රෙජිමේන්තුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත්, එසේ එම පදක්කම් තුනම එකවර ලැබූ යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම 2/ලුතිනන් නිලධාරී වීමේ භාග්‍යය මා හට හිමිවූයේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් බැවින් මා එම අවස්ථාව සිහිපත් කරනුයේ ඉමහත් ආඩම්බරයෙනි.

නිවැරදි නායකත්වය මත පෝෂණය වූ “සමගිය ශක්තියයි” යන උදෘත පාඨය පෙරදැරි කරගත් ගජබා රණවිරුවන්ගෙන් සමන්විත අප ගජබා රෙජිමේන්තුව සාමුහිකව එක්ව මිලේච්ඡ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් තුරන් කිරීම පිණිස ඇප කැපවී සිදුකරන ලද ජාතික මෙහෙවරේදී අප රෙජිමේන්තුවේ පියා වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳූන් ඇතුලූ වීරෝධාර අති දක‍ෂ රණකාමී නිලධාරින් 171 දෙනෙකු සහ සෙසු නිලයින් 4079 දෙනෙකු ස්වකීය ජිවිත පරිත්‍යාග කරන ලදී. තවත් නිලධාරීන් 179 ක් හා සෙසු නිලයින් 4463 ක පිරිසක් සදාකල් ආබාධිත තත්ත්වයටද පත්වුහ.

මෙලෙස ගජබා සාමාජිකයින් විසින් තම තාරුණ්‍යත් තම ජීවිතයත් කැපකර දක්වන ලද සුවිශේෂී දක්‍ෂතා හා වීර ක්‍රියාවන් ඇගයීමට ලක්කරමින් දේශයේ විමුක්තිය උදෙසා උණුසුම් රුධිරයෙන් ලක් දෙරණ තෙත් කළ දහස් ගණන් වු වීරෝධාර ගජබා විරුවන් රට දැය ජාතිය වෙනුවෙන් ඇප කැපවී කල අභිමානවත් අමිල සේවයට උපහාර දක්වමින් කෘතගුණ සැලකීමක් වශයෙන් අප රෙජිමේන්තුව වෙත වර්ෂ 2007 ක් වු ජනවාරි මස 16 වන දින අතිගරු ජනාධිපති උතුමාණන් විසින් ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කිරීම තුළින් අප රෙජිමේන්තුවේ ප්‍රෞඩත්වය තවදුරටත් දීප්තිමත් කරගැනීමේ භාග්‍යය මෙන්ම අභිමානය තවදුරටත් උත්කර්ෂවත් කර ගැනීමට අවකාශ ලැබී ඇත. එවන් වු පසුබිමක් තුළින් වසර 35 ක ප්‍රෞඩ ඉතිහාසයක් හිමි කීර්තිමත් අප රෙජිමේන්තුවේ සාඩම්බර උරුමකරුවන් වීමේ භාග්‍යය ලැබීම පිළිබඳව අප සියලූ දෙනාට නිහතමානීව ආඩම්බර විය හැකිය.

දශක තුනකට අධික කාලයක් රට තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම උදෙසා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රමුඛතම සහ විශාලතම කාර්යභාරය සිදුකල රෙජිමේන්තුව වශයෙන්, රටේ ආර්ථීක, සමාජයීය හා සංස්කෘතිකමය වටිනාකම් සුරක‍ෂිත කොට ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කර තිරසාර සාමය සුරක‍ෂිත කර අප මාතෘ භූමිය සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙනයාම උදෙසාද ප්‍රමුඛතම සහ විශාලතම කාර්යභාරය ඉටුකරන රෙජිමේන්තුව වශයෙන් ක්‍රියාකිරීමට ඇප කැපවී කටයුතු කිරිමට අප අදිටන් කර ගත යුතු බව මා මේ මොහොතේ ප්‍රකාශ කර සිටිමි. විශේෂයෙන්ම අවංක භාවයෙන් හා කැපවීමෙන් යුතුව ඉදිරියටත් තම රාජකාරියේ නිරතවීම තුළින් යුධ හමුදාව කෙරෙහි ජන හදවත් තුළ පවතින කීර්තිනාමය තවදුරටත් සුරක‍ෂිත කරගත හැකිවන අතර, ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ සක්‍රීය දායකත්වය මා නිරතුරුව අපේක‍ෂා කරමි.

එමෙන්ම සංග්‍රාමික භූමියේදී ගජබා නාමය සමස්ථ යුද්ධ හමුදාව තුළම පතුරවමින් සෑම යුධ ජයග්‍රහණයකදීම සෘජු දායකත්වය ලබාදෙමින් ලබාගත් කීර්තිනාමය ක්‍රීඩා කෞශල්‍යය තුළින්ද ජාතික සහ ජාත්‍යන්තරයට ගෙනයාම ඉතා අත්‍යවශ්‍ය බව මා මේ අවස්ථාවේ සිහිපත් කර සිටිමි. ඒ සඳහා නව ක්‍රමවේදයන්ගෙන් සහ උපදේශනයන් මගින් පෝෂණය වී පුහුණුවීම් සිදුකර විවිධ දක්‍ෂතා ඇති නිලධාරින්/සෙසු නිලයින් හඳූනාගෙන ඔවුන් දිරිමත් කර ක්‍රීඩාව සඳහා නැඹුරු කරවීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ආරමිභ කර ඇත. එමගින් ආත්ම විශ්වාසය ගොඩනැගුනු ධෛර්යය සම්පන්න ක්‍රීඩකයින් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට අප රෙජිමේන්තුව තුළින් බිහිවේ යැයි මා විශ්වාස කරමි. විශේෂයෙන්ම මේ වන විටත් අප රෙජිමේන්තුවේ ආබාධිත නිලධාරින් සහ සෙසු නිලයින් තම ආබාධිත තත්වය පසෙකලා ලබා ඇති ක්‍රීඩා ජයග්‍රහණයන් අප සියලූදෙනා අගය කලයුතු කරුණකි. එමෙන්ම අප සතුව තිබු යුද ඥාණය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙස්/විදෙස් පාඨමාලා හදාරමින් හැකි සෑම අවස්ථාවකදීම සාමුහිකව පුහුණුවීම් වල යෙදිය යුතුය. මේ වන විට වත්මන් යුධ හමුදාව වෘත්තීයමය හමුදාවක් බවට පත්වෙමින් තිඛෙන බැවින් අපද ඒ සඳහා අනුගතවීමට කාලය පැමිණ ඇත. එබැවින් තම වෘත්තීය දැනුම වඩ වඩාත් වර්ධනය කර ගනිමින් වෘත්තියේ නිපුණත්වය ප්‍රගුණකර වර්ණලාභී රෙජිමේන්තුවේ කීර්තිනාමය, ප්‍රෞඩත්වය ආරක්‍ෂා කරගනිමින් “සමගිය ශක්තියයි” යන රෙජිමේන්තුවේ උදෘත පාඨය පෙරදැරි කරගනිමින් රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය උදෙසා අප සියලූ දෙනා ඇප කැපවී එකාවන්ව කටයුතු කල යුතුය.

ගජබා නාමය ලක් දෙරණ මත රැව්පිළිරැව් දීමට කටයුතු කර රට වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ විශ්‍රාමික ගජබා නිලධාරීන් හා සෙසු නිලයින්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සහ ඔවුන් මුහුණ දෙනු ලබන ගැටලූ මෙන්ම විශේෂයෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපගේ “සමගිය ශක්තියයි” යන්න පිලිඹිබු කිරීමට ඒ සඳහා රාජකාරීමය මට්ටමින් පමණක් නොව ඔවුන් ඔබ අතරේම සිටි සෙබළෙකු නිසාවෙන් පෞද්ගලික වශයෙන් හෝ මැදිහත්ව ඔවුන් හට හැකි අයුරින් උදව් උපකාර කිරීමට සැමවිටම අදිටන් කර ගත යුතුය. ඒ වෙනුවෙන් යුද්ධ හමුදා ඉතිහාසය තුළ ප්‍රථම වරට ගජබා රෙජිමේන්තුව විසින් වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අද පටන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර, අප සමග සිටි අයවලුන් වෙනුවෙන් දැනට සිටින අයවලුන් වශයෙන් අවශ්‍ය වේලාවට ඉදිරිපත්වීමේ සංස්කෘතියක් ලෙස අනෙකුත් රෙජිමේන්තු වෙතද මෙම මහඟු සේවාව පතුරුවාලීමට හැකිවේවායි මා ප්‍රාර්ථනා කරමි.

ගෙවීගිය තිස්පස් වසරක කාලය තුළ ගජබා රෙජිමේන්තු නාමය යුද්ධ හමුදාව තුළ ඔසවා තැබීමට මහඟු කාර්යභාරයක් ඉටුකිරීම උදෙසා ජිවිත කැප කොට, රණක‍ෂිතයට පත්වෙමින් තම වටිනා තරුණ ජිවිතය හා කාලය කැප කොට දේශය වෙනුවෙන් සිය යුතුකම සෘජුවම ඉටුකල ගජබා රෙජිමේන්තුවේ සියලූම රණවිරුවන් වෙත මාගේ ගෞරව ප්‍රණාමය පුද කරමි. එමෙන්ම අභිමානවත් ගජබා ඉතිහාසය පුරාවට එහි අභිවෘද්ධිය උදෙසා දිවි හිමියෙන් කටයුතු කල සියලූම රෙජිමේන්තු අධිපතිවරුන්, සියලූම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඇතුලූ සෙසු නිලයින්ද, සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයින් හා ඔවුන් සියලූ දෙනාගේ පවුල්වල සාමාජිකයින්ද මේ අවස්ථාවේදී ඉතාමත් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.

තිස්පස් වසරක විජයග්‍රාහී උරුමයකට හිමිකම් කියන ගජබා රෙජිමේන්තුවේ ජීව ගුණය තව තවත් ඉදිරියටත් පවත්වාගෙන යාම අප සියලූදෙනා සතුව පවතින පොදු වගකීමක් බව අවධාරණය කරන අතර, ඒ සඳහා අවශ්‍ය සියලූ ශක්තිය සහ ධෛර්යය නිරතුරුව ඔබ සැම වෙත ලැබේවායි අවසාන වශයෙන් මා ප්‍රාර්ථනා කරමි.

                                                                                                                                   ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී
                                                                                                                                   මේජර් ජෙනරාල්
2018 ඔක්තෝබර් මස 14 දින                                                                                       රෙජිමේන්තු අධිපති