Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

11th August 2023 19:00:19 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳුන් සිහිකර ගුණානුස්මරණය වැඩසටහනක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘවරයාණන් වන මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී සෙන්පතිඳුන් සිහිකරමින් එතුමන්ගේ 31 වන ගුණ සැමරුම වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මගපෙන්වීම යටතේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ පුර්ණ අධීක්ෂණය මත 2023 අගෝස්තු මස 08 වන අඟහරුවාදා දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙහි පළමු අධියර වශයෙන් රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසකගේ සහභාගීත්වයෙන් එදින අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී මහා සංඝරත්නය හමුවේ ගිලන්පස හා මල් පහන් පූජා කර වීර සෙන්පතිදුන් හට පින් අනුමෝදන් කිරීම සිදුකරන ලදී.

මෙයට සමගාමීව එදින පෙරවරුවේ කිරිබත්ගොඩ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න පිළිරුව අභියස දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සමීපතම ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ගුණ සැමරුම් උත්සවයක් ද පැවැත්විණි.

එදින සවස සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න සෙන්පතිඳුන්ගේ ප්‍රතිමාව අභියසදී එතුමන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීම සිදුකල අතර, මෙම සැමරුම් උත්සවය සඳහා 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බුද්ධික පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු අතර, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, 22 වන බළඇණියේ අණදෙන නිළධාරී ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.