Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

12th November 2023 20:11:50 Hours

ගජබා රෙජිමේන්තුවේ තවත් ප්‍රවීණ කෙටේරිවරුන් තිදෙනෙකුට වර්ණවත් වු රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වයි

ගජබා රෙජිමේන්තුවේ සාඩම්බර සාමාජිකයින් වු හිටපු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චම්පක රණසිංහ (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 121 වන බළසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් ජනක උඩෝවිට (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා කළමණාකරන හා නඩත්තු අධ්‍යක්ෂක මණ්ඩලය - යුධ හමුදා රෝහල කොළඹ හි හිටපු අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජනක විතානාච්චි (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශ්‍රාම යාම නිමිත්තෙන් වර්ණවත් වු රාත්‍රී භෝජන සංග්‍රහයක් 2023 නොවැම්බර් මස 03 වන දින ගජබා නිවහනේදී පවත්වන ලදි.

රෙජිමේන්තු සම්ප්‍රදායේ අංගයක් වශයෙන් ගජබා රෙජිමේන්තුවට, ශ්‍රී ලංකා යුද හමුදාවට මෙන්ම සමස්ථ මවුබිමට ඔවුන් සිදුකලා වු විශිෂ්ඨ සේවය අගයනු වස් ඔවුන් හට ගෞරවය හා කෘතවේදීත්වය පුදකරමින් ඔවුන්ව ඇගයීම සඳහා මෙම සමුගැනීමේ රාත්‍රිය ගෞරවනීය ලෙස සංවිධානය කර තිබිණි.

මෙම සමුගැනීමේ රාත්‍රීය යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ හා ජාතික ආරක්ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයුගේ මගපෙන්වීම හා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ පුර්ණ අධීක්ෂණය මත පවත්වනු ලැබු අතර, මෙම වර්ණවත් අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ගජබා සේවා වනිතා ශාඛාවේ විධායක සභිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.