Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

18th November 2022 14:47:47 Hours

ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සර සැමරුම - 2022

ප්‍රතාපවත් ශ්‍රී ලාංකීය රාජ වංශයෙහි පුරාතණ අගනගරය හා අභීත හෙළ විරුවන්ගේ ස්වර්ණමය නිජබිම වූ අනුරාධපුර රාජධානිය සිය කේන්ද්‍රස්ථානය කරගනිමින් මෑත කාලීන සංග්‍රාම භූමිය දිග් විජය කළ නූතන හෙළ විරුවන්ගේ මහගෙදර වූ ගජබා රෙජිමේන්තුව සිය 39 වසරක අතීතාවලෝකන සමරනු ලබන්නේ මහත් අභිමානයෙනි.

යුධ ශිල්පය සඳහාම උපන් විරු පරපුරක් දැයට දායාද කිරීමට පෙරමුණ ගනිමින් ලාංකීය යුධ වංශකථාව නැවත ලිවීමට පෙරමුණගත් ප්‍රතාපවත් පෙර ගමන් කරුවාවූ පෞඩ ගජබා පරපුරෙහි පීතෘ වරයානන් වන දිවන්ගත මේජර් ජෙනරාල් ඩබ්ලිව්අයිවීකේඑම් විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සෙන්පතිඳුන්ගේ තුන්කල් දක්නා නුවනින් සුපෝෂිතව වර්ෂ 1983 ක් වූ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භය දුටු ගජබා රෙජිමේන්තුව වර්ථමානයේ සමස්ථ ජාතියටම සෙවන සලසන මහා වෘක්ෂයක් බවට පත්ව හමාරයි.

බෙදුම්වාදී ම්ලේච්ච ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කරලීමේ අරමුණින් දියත් කළ දැවැන්ත වඩමාරච්චි සටනේ සිට ත්‍රස්තවාදය මුලු මනින්ම අතුගා දැමූ වන්නි මානුෂීය මෙහෙයුම දක්වා රණබිමේ රණ ඝොස නංවමින් පෙරමුණෙහි ගමන් කළ ප්‍රබලතම පාබල රෙජිමේන්තුව ලෙස ගජබා රෙජිමේන්තුව ඉතිහාසගතවී හමාරය.

දශක තුනකට ආසන්න කාලයක් පැවති බිහිසුනු කුරිරැ ත්‍රස්තවාදය අවසන් කිරීමට උතුරු මානුෂීය මෙහෙයුමේ මූලිකත්වය ගෙන ක්‍රියාකළ ප්‍රබල ප්‍රහාරක සේනාංකයන් වූ 53ල 55ල 57ල 58 සහ 59 නව වන සේනාංකයන් අතරින් වැඩිම සේනාංක ප්‍රමාණයක් මෙහෙයවමින් රණවිරුවන්ගේ රණකාමීත්වයට හා සටන් ශූරත්වයට නිසි නායකත්වය ලබාදෙනු ලැබුවේ ගජබා රෙජිමේන්තුවට අයත් වීර සේනාංකාධිපතිවරුන් බව නොරහසකි. වන්නි මානුෂීිය මෙහෙයුම ඒකචත්‍ර කරමින් ලබාගත් විජයග්‍රහනය මඟින් තිස් වසරකට පසු තුන් සිංහලය සිංහ ධජය සෙවනෙහි පිහිටුවා පුරාණ රජ සමයට යලි පන දෙමින් දැය පුබුදු කරලීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ රණකාමීන් ලෙසද ගජබා විරුවන් ඉතිහාස ගතවනු ඇත.

ගජබා රෙජිමේන්තුවේ අභීත සටන් ශූරත්වය හා රණකාමීත්වය අගයමින් එයට උපහාරයක් වශයෙන් ගජබා රණකාමීන් හට ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිඳුන් විසින් වර්ෂ දෙදහස් හතක්වූ ජනවාරි මස දහසය වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති වර්ණයන්ගෙන් සහ රෙජිමේන්තු වර්ණයන්ගෙන් එක්වර අභිශේක ගැන්වු අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාබල රෙජිමේන්තුවක් එම වර්ණයන් දෙකෙන් එකවර අභිෂේක ගැන්වූ පළමු අවස්ථාව ලෙසද එය ලක් ඉතිහාසයට එක්වී ඇත.

තිස්නව වසරක අභිමානවත් ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලාංකීය දේශය තුළ මේ වන විට සියලු ජාතීන්ගේ ආරක්‍ෂකයා බවට පත්වී හමාරය. ගජබා රෙජිමේන්තුවෙන් දැයට දායාද කළ අභීත සෙන්පතිවරුන් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති ධුරය, ආරක්‍ෂක ලේකම් ධූරය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හා යුද්ධ හමුදාධිපති ධූරය යන මෙරට ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛතම සිව් රන් දම්වැල් දරමින් හැත්තෑ හතර වසරක මෙරට පෞඩ ඉතිහාසය තුළ ස්වකීය නාමය සනිටුහන් කිරීමට ප්‍රථම සමත්ව ඇත.

39 වසරක ගජබා වංශ කථාව තුළ ගජබා රෙජිමෙින්තුවෙන් බිහිවු ප්‍රථම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන ධූරයෙන්දල ප්‍රථම යුද්ධ හමුදාධිපති ධූරයෙන්දල ජෙනරාල් නිලයට උසස්වීම් ලද ප්‍රථම යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන්ද වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෙන්පතිඳුන් ගෞරවණීය ලෙස ගජබා ධජය ලක් දෙරණ තුළ ලෙළදීමට සිය පූර්ණ කාළීන දායකත්වය ලබාදුන් අතර එම අභිමානනීය කිරුළ වත්මන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමෙින්තුවෙන් බිහිවු දෙවන යුද්ධ හමුදාධිපති මෙන්ම ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සෙන්පතිඳුන් දරමින් කටයුතු කිරීම ගජබා රෙජිමේන්තු ඉතිහාසය තුළ ස්වර්ණමය අකුරින් සනිටුවහන් වී හමාරය.

මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුළද ගජබා රෙජිමේන්තුවට අයත් ක්‍රීඩකයින් ජය කෙහෙළි නැංවූ බව නොරහසකි. ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ විශිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු වූ බලලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාඔලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගනු ලැබුවේ එදා මෙදා තුර පැරාඔලිම්පික් තරඟ ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු පෑ ඉහළම දක්ෂතාවයල එම තරඟ ඉසව්වේ ලොව ක්‍රීඩකයෙකු පෑ ඉහළම දක්ෂතාවය මෙන්ම ඔලිම්පික් පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කල පළමු සහ එකම ශ්‍රී ලාංකිකයා වෙමින් වීම තිස් නව වසරක ගජබා ගමන් මඟෙහි සුවිශේෂී සංධිස්ථානයක් ලෙස සනිටුහන්ව ඇත්තේ සියලු ගජබා විරුවන්ට අභිමානයක් එක්කරමිනි.

උපන් දේශය පළමු කොට තම දිවිය දෙවනි කොට මතු අනාගතයෙහි ජනිත වන්නාවු සකලවිධ ජනී ජනයාගේ හෙට දවස වෙනුවෙන් සතුරා අභිමුව සැබෑ වීරයන් ලෙසින් සටන් වැද සිය වීර සුසුමත්ල ධීර හැඟුමත් ලක්ධරණි තලයට මුදාහල දේශප්‍රේමී සුජාත ගජබා පුතුන් වු සෙන්පතිවරුන් 171 දෙනෙකු සහ රණකාමී කෙටේරිවරුන් 4075 දෙනෙකු ගෙවුනු තිස්නව වසරක කාලය පුරාවටම නිහඩවම කියාපානු ලැබුයේ ගජබා රණකාමීන් ජාතියේ අභිමානය වෙනුවෙන් නැගූ යශෝරාවයයි.

රක්ත වර්ණ රුධිර ධාරාවන්ගෙන් ලක් පොලොව තෙත් කරමින් සිය ඇස්ල ඉස්ල මස් දන් දෙමින් සතුරා අබිමුව අභීතව සිංහ නද නැගූ ගජබා සෙන්පතියන් 307 සහ කෙටේරිවරුන් 5646 දෙනෙකු තිස්නව වසරක ගජබා වංශ කතාව තුළ රණක්‍ෂිතයට පත්ව ඇත.

උදාර ගජබා පුතුන් විසින් විවිධ කාල සීමාවන් තුළදී සිදුකළ වික්‍රමාන්විත රණශූරත්වය අගයමින් ශ්‍රී ලංකා ජනරජය වෙතින් පරම වීර විභූෂණ පදක්කම් 04, වීර වික්‍රම විභූෂණ පදක්කම් 65 ක්ල විරෝධාර විභූෂණ පදක්කම් 03 ක්, රණවික්‍රම පදක්කම් 774 ක්, රණශූර පදක්කම් 3919 කින්ද පිදුම් ලබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ වැඩිම වීරක්‍රියා පදක්කම් ප්‍රමාණයකින් පිදුම් ලද රෙජිමේන්තුව ලෙසද ගජබා රෙජිමේන්තුව අද්විතීය සන්ධිස්ථානයක් තබා ඇති බැව් සනිටුහන් කරනුයේ මහත් අභිමානයෙනි.

ලක් දෙරන සිසාරා සියලු ජන හදවත් දේශානුරාගයෙන් මුසපත් කරමින් රණබිමේදී ලබා ඇති නිපුනත්වය සමඟින් මේ වන විට ශක්තිමත් නිත්‍ය බළඇණි 13ල ස්වේචිඡා බළඇණි 06 සහ එක් රෙජිමේන්තු මූලස්ථාන බළඇණියකින් සන්නද්ධ ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ශක්තිමත්ම පාබල රෙජිමේන්තුව ලෙසින් අනාගතය උදෙසා සිය වික්‍රමාන්විත වු අයෝමය ශක්තිය මෙරට ජාතික ආරක්‍ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් යොදවා ඇත.

මෙවන් විශිෂ්ඨ මතක සැමරුම් මැදින් සිය 39 වසරක සාඩම්බර ගමන් මග සැමරීම වෙනුවෙන් වර්ෂ 2022 ක් වූ ඔක්තෝබර් මස 12 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළදී චාම් මෙන්ම අභිමානවත් සැමරුම් උත්සවයක් සංවිධානය කළ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති මෙන්ම වත්මන් ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගීවන ලදී.

එහිදී 12 වන දින සන්ධ්‍යාවේ ගරුතර මහා සංඝරත්නය රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළට වඩමවා අලංකාරවත් අන්දමින් ඉදිකර තිබූ පිරිත් මණ්ඩපයක් මධ්‍යයේ සිට 39 වසරක් පුරාවට රෙජිමේන්තුව සමඟින් රාජකාරි කර කාය දානය පුදකල සියලුම විරුවන් හට උතුම් නිර්වාන සුවයත්ල රණක්‍ෂිතයට පත්ව ප්‍රථිකාර ලබන සියලුම විරුවන් හට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් මෙන්මල දැනට සේවයේ යෙදී සිටින සියලුම විරුවන් හටල සිවිල් සේවක මහතුන්ට සහ ඔහුන්ගේ පවුල්වල ඥාතීන් හට සෙත් ප්‍රාර්ථනා කරමින් පසු දින පහන් වනතුරු සෙත් පිරිත් සජ්ඡායනාවක් පවත්වන ලදී.

පසුව 13 වන දින සන්ධ්‍යා කාලයේදී රෙජිමේන්තුව හා එක්ව නිදහස් දේශයක් දිනාදීම වෙනුවෙන් සිය දිවිය පුදකල වීරෝධාර ගජබා විරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පැවැති අනුස්මරණ උත්සවය සහ පෙළපාලිය සඳහා රෙජිමේන්තු අධිපතිතුමන් එක්වූ අතර එහිදී එතුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දක්වා මියගිය විරුවන් සිහිකරන ලදී. මෙම අවස්ථාව සඳහා දිවිපිදූ රණවිරුවන්ගේ ලඟම ඥාතීන් විශාල පිරිසක්ද එක්වනු ලැබීය. ඒ අතර ගජබා රෙජිමේන්තුවෙ නිර්මාතෘ මෙන්ම ගජබා රෙජිමේන්තුවෙ පියානන් ලෙස සැලකෙන දිවංගත මෙිජර් ජෙනරල් විජේ විමලරත්න සෙනිපතිදුන්ගේ ආදරණිය භාර්යාව වන මානෙල් විමලරත්න මැතිණියද මෙම සුවිශේෂි අවස්ථාවට එක්වනු ලැබිය.

අනතුරුව රෙජිමේන්තුවට 39 වසරක් සපිරුණ 14 වන දින උදෑසන රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැති සම්මාන පෙලපාළිය පිළිගැනීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බි්‍රගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. එතුමන් පිළිගැනීම සඳහා ප්‍රධාන පිවිසුම අසලදී කඳවුරු මුරයක් පිරිනැමූ අතර පසුව එතුමන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් ඩබ්ලිව්අයිවීකේඑම් විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සෙන්පතිදුන්ගේ පිළිරුව වෙත පුෂ්පෝහාර දක්වන ලදී.

අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන සරඔ භූමියේදී එතුමන් වෙනුවෙන් අභිමානවත් සහ අලංකාරවත් සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. එහිදී භට පිරිස් ඇමතූ එතුමන් අභියෝගාත්මක කාල සීමාවක් වුවද ඉදිරියේදී රෙජිමේන්තුවේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් නව වැඩ සටහන් සහ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසීය. අනතුරුව එදින දහවල් පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහය සඳහාද එතුමන් එක්වන ලදී.

39 වන සංවත්සරයට සමගාමිව ගජබා රෙජිමෙින්තු සේවාවනිතා ශාඛාවෙ ගරු සභාපතිනියගේ උපදෙස් මත සංවිධානය කල ආර්ථික අපහසුතා හා විශේෂ අවශ්‍යතා පවතින පවුල් වල සාමාජිකයින් හට වියලි සලාක මල්ලක් හා එම පවුල් වල අධ්‍යාපනය හදාරන දරුවන් හට පාසල් බෑග් හා පාසල් උපකරණ කට්ටල ප්‍රධානය කිරිම සේවාවනිතා ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් කුසල් අරණ සේනාසනයේ දි පවත්වන ලදි.

39 වන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් පුරා තෙදිනක් පුරාවට පැවැති මෙම සියලු උත්සව අවස්ථාවන් සදහා රෙජිමේන්තු අධිපතිතුමන් සමඟ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ල මධ්‍යස්ථාන සේනාවිධායක සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ඒකක අණදෙන නිලධාරිවරුන්ල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරිවරුන්ල රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිත්‍ය කාර්ය මණ්ඩලයට අයත් සියලු සාමාජිකයින් සහභාගි වන ලදී.