Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

19th October 2023 14:15:45 Hours

ගජබා රෙජිමේන්තුව සිය 40 වැනි සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත්ම හා අභිමානවත් රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුව සිය 40 වන සංවත්සරය මහත් අභිමානයකින් යුතුව සමරනු ලැබීය. එහි පළමු අංගය වශයෙන් 2023 ඔක්තෝම්බර් 04 වන දින සර්ව ආගමික වතාවත් සිදුකරමින් රෙජිමේන්තු ධජයට හා ඒකක ධජයන්ට සෙත් පතා ආශිර්වාද ලබා ගැනීම සිදුකරන ලදි. ඉන් අනතුරුව 2023 ඔක්තෝබර් 12 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද සිදුකරන ලද අතර පසුදින උදෑසන මහා සංඝරත්නය වෙත දානමය පිංකමක්ද සිදුකරන ලදී.

මෙම වැඩසටහනට සමගාමීව මාතෘභූමිය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කල වීරෝධාර ගජබා විරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම ඔක්තෝබර් මස 13 වන දින ගජබා රණවිරු ස්මාරකය අභියසදී යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් සහ සියලුම අණදෙන නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් වරුන්, සෙසු නිලයින් හා මියගිය ගජබා රණවිරුවන්ගේ ඥාතීන් දූදරුවන් ද සහභාගී වෙමින් පුෂ්පෝපහාර දැක්වීම සිදු කරන ලදි.

වසර 30ක් පුරා රට තුළ පැවැති කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ සටනේදී රෙජිමේන්තුවේ නිලධාරීන් 171ක් සහ සෙසු නිලයන් 4068 ක් සිය වටිනා ජීවිත පූජා කර ඇති අතර, නිලධාරීන් 176ක් සහ සෙසු නිලයන් 4463ක් තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව ඇත.

ගජබා රෙජිමේන්තුවේ 40 වන සංවත්සර දිනය යෙදී තිබු ඔක්තෝබර් 14 වන දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රොෂාන් කළුපහන ආර්එස්පී යුඑස්පී විසින් යුද්ධ හමුදාධිපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර, පසුව එතුමන් වෙත සම්ප්‍රදානුකූලව අභිමානවත් කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ පිළිරුව අභියස මල් කළඹක් තබා පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදි. පසුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී විසින් එතුමන්ව ගෞරවාන්විතව පිළිගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේදී යුද්ධ හමුදාධිපති තුමන් වෙත නිළධාරීන් 19 දෙනෙකුගෙන් සහ සෙසු නිලයින් 427 දෙනෙකුගෙන් සමන්විත විචිත්‍රවත් සම්මාන මුරයක්ද පවත්වන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සුඛෝපභෝගී කාමර 6 කින් සමන්විත “KING KETERIAN THE LEGACY SUITE” නිවාඩු නිකේතනයෙහි සමරු ඵලකය යුධ හමුදාපතිවරයා විසින් සංකේතාත්මකව නිරාවරණය කරමින් උත්සවාකාරයෙන් විවෘත කරන ලද අතර එම අවස්ථාව සිහිගැන්වීම සඳහා සඳුන් පැළයක් රෝපණය කිරීමද සිදුකරන ලදි.

ගජබා රෙජිමේන්තුවේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති වැඩසටහන් මාලාව ඉතා විශිෂ්ට අයුරින් සිදුකිරීමෙන් පසු යුද්ධ හමුදාධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්, සියලුම ඒකක රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සියලුම ගජබා බලඇණි නියෝජනය කරමින් සෙසු නිලයින් පිරිසකගේ ද සහභාගීත්වයෙන් සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.