Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

20th July 2022 10:02:41 Hours

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි නව යුද්ධ හමුදාධිපති තුමන් උණුසුම් අයුරින් පිලිගනී

ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී 2022.06.18 වන දින පෙරවරුවේ පැවති යුද්ධ හමුදා සම්ප්‍රදායාණුකූල උපහාර උත්සවයකදී පසුගිය දා යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි ආරම්භ කල ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් ගජබා රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.

24 වන යුද්ධ හමුදාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ප්‍රථම වරට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායාණුකූලව ගෞරවාචාර පුදකිරීමද මෙහිදී සිදුවිය.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රජින්ද්‍ර විජේරත්න විසින් පිලිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු භට පිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් අනුස්මරණය කරමින් එතුමන්ගේ පිළිරුව වෙත නව යුද්ධ හමුදාධිපති තුමන් පුෂ්පෝපහාර පුදකර සිය ගෞරවාචාරය පිරිනමනු ලැබීය.

පසුව, උත්සවයේ ප්‍රධානම අවස්ථාව වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් වෙත හමුදා සම්ප්‍රදායාණුකූලව වර්ණ ධජ ඝනයකින් සමන්විත අලංකාරවත් සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඒ සඳහා, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද විසින් එතුමන් පිලිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තුවට අයත් බලඇණි 20 නියෝජනය කරමින් එක් වූ භටපිරිස් 560 දෙනෙකුගෙන් සැදුම්ලත් පෙළපාලියේ ගෞරවාචාරය පිලිගැනීම සඳහා යුද්ධ හමුදාධිපති තුමන් වෙත ආරාධනා කරන ලදී. මෙම වර්ණවත් ආචාර පෙලපාලියේ ප්‍රධාන අනදෙන්නා ලෙස බ්‍රිගේඩියර් නලීන් මැදිවක යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් කටයුතු කරන ලදි.

යුද්ධ හමුදාවේ පිරිනමනු ලබන ඉහලම හමුදා ආචාරය ලෙස පුදකරන සම්මාන මුරයේ ගෞරවාචාරය පිලිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති තුමන් විසින් පෙළපාලිය පරීක්‍ෂා කරනු ලැබීය. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායාණුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිලිගැනීම සඳහා එතුමන් විශේෂ පීඨිකාව වෙත පැමිණියේය. එහිදී පෙලපාලියේ ගෞරවාචාරය පිලිගැනීමෙන් පසු එතුමන් විසින් භට පිරිස් අමතමින් යුද්ධ හමුදාධිපති හා රෙජිමේන්තු අධිපති ලෙස සිය ඉදිරි දැක්ම පිලිබදව අදහස් දැක්වීම සිදුකරනු ලැබිය.

අනතුරුව එතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

පසුව මෙම සුවිශේෂි අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපති තුමන් එක්විය. මෙම අවස්ථාවේදී, කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 හි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රථමයෙන් සමූහ ඡායාරූපයකට එක්වූ යුද්ධ හමුදාධිපති තුමන් දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුවීම් කාලසීමාව තුල ලද මතකයන් මෙන්ම ඉන් පසුව වෘත්තීය ගමන් මගෙහි මතකයන් යලි ආවර්ජනය කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති තුමන්ගේ ඒකකය වූ 4 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් සමඟින් ද සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

මෙම උත්සවයේ විශේෂත්වය වුයේ මීට සති දෙකකට පෙර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරයේ අසමසම සේවාවක් සිදුකල ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධූරයෙන් නික්ම යෑමෙන් අනතුරුව එම ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ වෙත ආරාධනා කිරීමයි.

එලැඹි සුභ මොහොතේදි රෙජි අධිපති කාර්යාලයේදී චාම් අයුරින් සංවිධානය කර තිබු නව තනතුරේ වැඩ භාර ගැනීමේ නිල අවස්ථාව සඳහා එතුමන් එක්වන ලදී. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ 12 වන රෙජිමේන්තු අධිපති ලෙස නව ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සුභ මොහොතින් සංකේතාත්මකව නිල ලේඛනයකට මෙහිදි අත්සන් තබනු ලැබීය. පසුව, මෙම අභිමානවත් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා එතුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 26 යටතේ පුහුණුව ලද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය යන ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම එම සමකාලීන පාඨමාලාවේ විශ්‍රාමික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙක් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුජීව සෙනරත් යාපා සමඟ ඔවුන්ගේ භාර්යාවන් ද එක්වන ලදී. එමෙන්ම ගජබා රෙජිමේන්තු මන්ත්‍රන සභාව නියෝජනය කරනු ලබන ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුලු රෙජිමේන්තුවට අයත් අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම අවස්ථාව සඳහා එක්වන ලදී.