Header Sinhala

ගජබා රෙජිමේන්තුව

සමගිය ශක්තියයි

23rd October 2023 10:36:03 Hours

16 වැනි බළඇණිය ගජබා රෙජිමේන්තුව සිය 15 වන සංවත්සරය මහත් අභිමානයෙන් සමරයි.

16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සිය 15 වන සංවත්සරය 2023 ඔක්තෝම්බර් 22 වන දින මහත් අභිමානයෙන් යුතුව සමරනු ලැබීය. මෙම අවස්ථාවට සමගාමීව බලඇණිය යටතේ රාජකාරීන් ඉටුකරන ලද සහ දැනට සේවයේ යෙදී සිටින සියළු සාමාජිකයින් සිහිපත් කරමින් විවිධ ආගමික වතාවත් කිහිපයක්ද සංවිධානය කර තිබුණි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මා බෝ සමිඳුන් අභියස, අති පුජනීය දළදා මාලිගාව අභියස, සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින කතරගම කිරිවෙහෙර සහ දේවාල පරිශ්‍රය, තබ්බෝව ශාන්ත ෆාතිමා දෙව්මැදුර, පුත්තලම ජුම්මා පල්ලිය, සාලියපුර ඝණදෙවි කෝවිල, හා තබ්බෝව අයියනායක දේවාලය යන පුණ්‍ය භුමියන් අභියසදී මහත් හරසරින් හා ගෞරවයෙන් යුතුව මෙම ආගමික වතාවත් සිදුකරන ලදි. පසුව බළඇණි මුලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් හා සාංඝික දානයක් පිළිගැන්වීමද සිදුකරන ලදි.

සංවත්සර දිනයේදී අණදෙන නිලධාරී තුමන් වෙත සම්ප්‍රදානුකූලව අභිමානවත් කඳවුරු මුරයක් හා ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් විචිත්‍රවත් සම්මාන මුරයක්ද පවත්වන ලදි. ඉන් අනතුරුව ඒකකයේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් අණදෙන නිලධාරි තුමන් ඇතුළු ඒකක තුළ රාජකාරීන් සිදුකරනු ලබන සියළු දෙනාගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදි.