09th January 2025 09:45:04 Hours
ගජබා රෙජිමේන්තුවේ ගෞරවනීය සාමාජිකයෙකු වන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගජබා රෙජිමේන්තුව හා සමස්ථ දේශය වෙනුවෙන් කරන ලද ආදර්ශවත් සේවය සහ දායකත්වය අගයමින් 2024 දෙසැම්බර් මස 29 වන දින ගජබා නිවහනේදී ගෞරවනීය උපහාරය පිරිනැමීම උත්සවාකාරයෙන් සිදුකරන ලදී.
ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශිෂ්ඨ නායකත්වය යටතේ සේවය කිරීමට කෙටේරියන් පවුලේ සාමාජිකයින් වාසනාවන්ත විය. ඔහුගේ ධූර කාලය රෙජිමේන්තු ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන යුගයක් සනිටුහන් කළ අතර, භෞතික හා බුද්ධිමය සංවර්ධනය පෙර නොවූ විරූ තලයකට ඔසවා තබමින් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට වැඩිම නිලධාරීන් සංඛ්‍යාවක් ඇතුළත් වූයේද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුගයේදීය.
ඔහුගේ දූරදර්ශී මඟ පෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පමණක් නොව බලඇණි මට්ටමින් ද සැලකිය යුතු යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කරන ලදී. “ගජබා නිවහන” තුළ කිං කෙටේරියන්ස් ලෙගසි සූට් ඉදිකිරීම සහ අනාගත ගජබා පරපුරෙහි ප්‍රයෝජනය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් රැස් කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීමද මෙයට ඇතුළත් විය. ඔහුගේ පරිපාලන කාලය තුල නිලධාරීන්ට තම වෘත්තියේ දී විශිෂ්ඨයින් වීමට ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳ නිරන්තරයෙන් උපදෙස්, දැනුවත් කිරීම් කරන ලද අතර, දක්ෂ ගජබා නිලධාරීන් යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් සඳහාද නිර්දේශ කරන ලදි.
ජෙනරාල් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නායකත්වය ප්‍රථිපත්තිමය හා පරිපාලන රාමුවෙන් ඔබ්බට විහිදිණි. එහි ප්රතිඵයක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා සුබසාධන වැඩසටහන් රාශියක් හඳුන්වා දුන් අතර, එමගින් සාමාජිකයින්ගේ යහපැවැත්ම සඳහා ඔහුගේ සංවේදී භාවය, කැපවීම ඉස්මතු කරන ලදි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නිහතමානිත්වය මත ප්‍රසිද්ධියට පත් ඔහු, සිය තනතුර, ජ්‍යෙෂ්ඨත්වය, හෝ තරාතිරම, නොසලකා යුධ හමුදාවේ සෑම සාමාජිකයෙකුටම ගෞරවය සහ සහෝදරත්වයෙන් සැලකීමේ උතුම් ගුණයන්ගෙන් පරිපුර්ණ නිලධාරියෙකු විය.
රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් තම අවසන් සුසුම් දේශය වෙනුවෙන් පරිත්‍යාගය කළ මියගිය විරුවන්ට සිය උපහාරය පුදමින් සමුගැනීමේ උත්වයේ කටයුතු ආරම්භ විය. ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් නික්ම යන යුද්ධ හමුදාධිපති තුමන් වෙත කඳවුරු මුරයක් පිරිනමන ලදී. රෙජිමේන්තුවේ ගෞරවනීය නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරාල් විජයවිමලරත්න ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි සෙන්පතිදුන් ගේ පිළිරුවට පුෂ්පෝපහාරය පුදමින් රෙජිමේන්තුවේ සාම්ප්රධාය සිහිපත් කරවීය. අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම් ජී ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් එම් සී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම හා අධික්ෂණය අනුව රෙජිමේන්තුවේ අභිමානය සහ විනය විදහා දැක්වමින් විචිත්‍රවත් පෙළපාලියක් හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත්විණි. මෙම අවස්ථාව ආවර්ජනය කිරීම සඳහා සහභාගී වූ සියලුම නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයක් ගන්නා ලද අතර, එය කෙටේරියන් පවුලේ සමගිය සහ සුහදතාවය සංකේතවත් කරන ලදී. පසුව රෙජිමේන්තු පරිශ්‍රය තුළ පැළයක් ද රෝපණය කරමින් මෙම අවස්ථාව සංකේතවත් කරන ලදී.
අනතුරුව රෙජිමේන්තු සම්ප්‍රදායානුකූලව සියළු නිලයින් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි. එහිදි ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම අවස්ථාවට සහභාගී වන ලද නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් සහ ඔවුන්ගේ ඉදිරි ගමනට සාමූහිකව කෘතඥතාව පළ කළේය. විශිෂ්ට නායකත්වයක් දුන් යුගයක අවසානය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තු භට පිරිස් මාර්ගය දෙපස සිට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය හෘදයාංගම සුභාශිංසන පිරිනමන ලදි. සමුගැනීමේ සම්ප්රදායේ කොටසක් ලෙස පෙරේදා සවස ගජබා රෙජිමේන්තු නිලධාරී භෝජනාගාර පරිශ්‍රයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම ගෞරවනීය අවස්ථාවේදී, නික්ම යන යුද්ධ හමුදාධිපති තුමන්ගේ සේවයට උපහාර පුද කිරීමටත්, ඔහුගේ සුවිශේෂී ජයග්‍රහණ ගෞරවයෙන් හා සුහදත්වයෙන් සැමරීමටත් නිලධාරීන්ට හැකි විය.
ජෙනරාල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මෙම සමුගැනීම හුදෙක් සමුගැනීමක් නොව. යුද හමුදාව සහ ජාතිය වෙනුවෙන් කැප වූ ජීවිතයක සැමරුමකි. ගජබා රෙජිමේන්තුවට, යුද හමුදාවට සහ ශ්‍රී ලංකාවට ඔහු කළ දායකත්වය ඉමහත් කෘතඥතාවෙන් හා ගෞරවයෙන් සිහිපත් කරනු ලබන අතර, ගජබා රෙජිමේන්තුව එහි විශිෂ්ටතම පුත්‍රයෙකුට සමුදෙන විට, ඔහු තැබූ ආදර්ශයෙන් සාඩම්බරව නැගී සිටියි. සතුට සහ ආදරණීය මතකයන්ගෙන් පිරුණු තෘප්තිමත් විශ්‍රාම දිවියක් ඔහුට භුක්ති විඳීමට ලැබේවා. යුධ විරුවන් කිසි විටෙකත් මිය යන්නේ නැත. ඉතිහාස වංශ කතාවේ නොමැකෙන සලකුණක් ඉතිරි කරමින් විරාජමානව සිටිනු ඇත.