22nd January 2026 14:55:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 36 වන සංවත්සර දිනය 2026 ජනවාරි 15 වන දින ආගමික, ක්‍රීඩා සහ සමාජීය සිදුවීම් මාලාවකින් අභිමානයෙන් සමරනු ලැබූ අතර, එය වෛද්‍ය බලකායේ සේවය, වෘත්තීයභාවය සහ විශිෂ්ටත්වය සඳහා බලකායේ නොනවතින කැපවීම පිළිබිඹු කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පී එස් සුභත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ගේ පැමිණිම සැමරුම් උත්සවය අලංකාර කරන ලදී. දිනයේ කටයුතු කඳවුරු සම්මාන මුරයකින් ආරම්භ වූ අතර, පසුව පෙළපාළි භූමියේදී රෙජිමේන්තු අභිමානය සංකේතවත් කරමින් උත්සවාකාර පෙළපාලියක් පැවැත්විණි. තවද 2025 වසර තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා නාමය ඉහලට ඔසවා තබමින් කැපී ජයග්‍රහණ පෙන්නුම් කළ නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා කර්නල් සේනාවිධායක විසින් ඇගයීමේ සහතික ප්‍රදානය කිරීම සිදුකරන ලදී.
බළකායේ අධ්‍යාත්මික වටිනාකම් සහ ආගමික සහජීවනයේ දිගුකාලීන සම්ප්‍රදායන්ට අනුකූලව, සියලුම නිලයන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය, ශක්තිය සහ යහපැවැත්ම සඳහා ආශිර්වාද පතා බහු-ආගමික සැමරුම් පවත්වන ලදී. ඉන්පසු, මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් ගන්නා ලද අතර, නිලධාරීන් සහ සෙසුනිලයින් අතර සුහදතාවය වර්ධනය කරමින් සියලුම නිලයන් දිවා ආහාරය ලබාගන්නා ලදී.
එදිනම සවස සෙබල/සෙබලියන් සඳහා වර්ණවත් සංගීත සන්ධ්‍යාවක් සහ විනෝදාස්වාද වැඩසටහනක් පවත්වන ලද අතර, එය සැමරුමට වර්ණවත් බවක් සහ ජවයක් එක් කරන ලදී. සැමරුම් උත්සව අතරට 2026 ජනවාරි 16 වන දින සන්ධ්‍යාවේ පැවති නිලධාරීන්ගේ සුහද හමුව සහ 2026 ජනවාරි 17 වන දින බලලත් නිලධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ සුහද හමුව ද ඇතුළත් විය. මෙම සුහද හමුවන් සියලුම නිලයන්ට බළකායේ අභිමානවත් උරුමය පිළිබිඹු කිරීමට සහ හමුදා වෛද්‍ය සේවයේ උතුම් මෙහෙවර සඳහා ඔවුන්ගේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කිරීමට වටිනා අවස්ථාවක් ලබා දුන්නේය.
සංවත්සර උත්සවවලට සමගාමීව, වොලිබෝල් සහ චෙස් තරඟාවලි සංවිධානය කරන ලද අතර, එමගින් සියලුම නිලයන් අතර ක්‍රීඩාශීලීත්වය, කණ්ඩායම් හැඟීම සහ ශාරීරික හා මානසික යෝග්‍යතාවය ප්‍රවර්ධනය කරන ලදී.
36 වන බලකා දින සැමරුම සාර්ථකව පැවැත්වීම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අභිමානවත් ඉතිහාසය, එකමුතුකම සහ ජාතියට විශිෂ්ටත්වයෙන් හා භක්තියෙන් සේවය කිරීමේ නොසැලෙන කැපවීම යළිත් වරක් සනාථ කළේය.