Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

26th January 2023 16:36:15 Hours

දකුණු සුඩානයේ පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 9 වන ශ්‍රි ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යාමට සුදානම්

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 9 වන වෛද්‍ය කණ්ඩායම විසින් ඉකුත් බදාදා (25) දින වේරහැර පිහිටි ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය ගෞරවාචාරය පිරිනමන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම්. සල්වතුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමූහ.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත කැටුව යන ලදී. පසුව, සම්මාන මුරයේ ගෞරවාචාය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.

මෙහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ක්‍රියාන්විතයන් සඳහා මනා පුහුණුවක් ලද එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත සාම සාධක කණ්ඩායමේ අණදෙන නිලධාරිතුමන් වෙත ජාතික ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ධජය භාරදෙනු ලැබීය.

නිලධාරින් 17 දෙනෙක් හා සෙසුනිලයින් 49 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 9 වන කණ්ඩායමට කර්නල් එම්.පී.එස්.ආර්. අමරසේකර යූඑස්පී අණදීම සිදුකරනු ලබන අතර මේජර් ජේ.ඒ.ඩී.සී.එච්. ජයසිංහ දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරයි.

මෙම කණ්ඩායමේ සංයුතියට වාට්ටු භාර හෙදියන්, හෙදියන්, සත්කාර හෙදියන් (නාරිවේදය), ශල්‍යාගාර තාක්ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් (DPM), විකිරණ (Xray) වේදීන්, විකිරණ (Xray) තාක්ෂණික ශිල්පීන්, දන්ත සහයකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහයකින්, ඔසුසැල් කාර්මිකයන්, විද්‍යාගාර කාර්මිකයන්, විද්‍යාගාර තාක්ෂණ විද්‍යාඥයින්, සන්නිවේදන තාක්ෂාණික ශිල්පීන්, සනීපාරක්ෂාක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන්, සනීපාරක්ෂමක රාජකාරි නියුතු පුද්ගලයින් සහ මෘත ශරීරාගාර සහයකයන්ගෙන් සමන්විතය. එම පිරිසට ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සෙබළුන් 40 දෙනෙක්, ශ්‍රි ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ශ්‍රි ලංකා විදුලි හා යාන්කත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළුන් 04 දෙනෙක් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් එක් සෙබළෙකු ද ඇතුළත් වේ.

යුද්ධ හමුදාධිපතිතුමන් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් නික්මයෑමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් රටක් වශයෙන් මෙවැනි විදේශ මෙහෙයුම් සඳහා සහභාගී වීමේ වැදගත්මකම පිළිබඳ අවධාරණය කරන ලදී. “ඉතා වගකීම් සහගත විදේශ මෙහෙයුමක් භාරගැනීමට සූදානම් වන ඔබ සියලුදෙනාට මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඔබේ වෘත්තීය ප්‍රමිතිීන් සහ විනය ඉහළ මට්ටමින් පවත්වාගනිමින් රාජකාරීන්හි නිරතවීමට සියලු දෙනා මතක තබා ගත යුතු බව” එතුමන් ප්‍රකාශ කරනු ලැබීය.

මේ වනවිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින 8 වන ශ ලංකා යුද්ධ හමුදා කණ්ඩායම එක්සත් ජාතීන්ගේ විධිවිධානවලට අනුකූලව ඔවුන්ට පැවරූ රාජකාරීන් සාර්ථකව නිමකර පෙබරවාරි මස 2 දින ආපසු සිය රට බලා පැමිණීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජේ‍යෂ්ඨ නිලධාරින් ඇතුළු සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වුහ.