Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව

ශ්‍රී ලංකා යුද හමුදාවේ ව්‍යාප්තියත් සමඟම මෙහෙයුම් අවශ්‍යතා හේතුවෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ භට පිරිස් ශීඝ්‍රයෙන් ස්ථානගත කරන ලදී. අවශ්‍ය ඉංජිනේරු සේවා සැපයීම සඳහා 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 1991 අගෝස්තු 21 වන දින අනුරාධපුර රණසේවපුර 2 සේනාංක පරිශ්‍රය තුළ 3 වැඩ බලඝණයේ ගොඩනැගිලි තුළ ස්ථාපිත කරන ලදී. 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පළමු අණදෙන නිලධාරියා ලෙස ලුතිනන් කර්නල් එම්ඩීආර් පීරිස් ශ්‍රීලංඉ පත් කරන ලදී. දෙවන අණදෙන නිලධාරියා ලෙස මේජර් ඩබ්ලිව්ආර් වසන්තකුමාර ශ්‍රීලංඉ, විධායක අධිකාරි ලෙස කපිතාන් ඊඑම් පෙරමුණේ ශ්‍රීලංඉ සහ පළමු ගබඩා නිලධාරියා ලෙස කපිතාන් ජේඩීඅයි රොද්‍රිගෝ ශ්‍රීලංඉ ද රෙජිමේන්තු සැරයන් මේජර්වරයා ලෙස බනි 1 බීඒඑස් ආරියවංශ මහතා ද පත් කරන ලදී.

1992 පෙබරවාරි 20 දිනැති අංක 702/06 දරන අතිරේක සාමාන්‍ය රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම අනුව, 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නොවැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලකායේ නිත්‍ය ඒකකයක් ලෙස නිල වශයෙන් උසස් කරන ලදී. 1991. මුලික අනුමත සංස්ථාව වූයේ නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයන් 210 කි.

ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවූ බැවින් පණ්ඩුලගම, තිසාවැව ප්‍රදේශයෙන් ඉඩමක් වෙන්කර ගෙන එම ඒකකය පණ්ඩුලගම ප්‍රදේශයේ නැවත ස්ථානගත කිරීමේ මූලික කටයුතු ආරම්භ කරන ලදී.

1994 සැප්තැම්බර් 22 වන දින, 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව තිසාවැව අභිනවයෙන් ඉදිකරන ලද මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථානගත කරන ලදී. 2 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්යූ සෙනෙවිරත්න යූඑස්පී එන්ඩීසී විසින් මූලස්ථාන ගොඩනැගිල්ල එදින විවෘත කරන ලදී.

දැනට අනුමත සංස්ථාව නිලධාරීන් 34ක් සහ සෙසු නිලයින් 590ක් වන අතර, එම ඒකකයට දැනට අණදෙනු ලබන්නේ මේජර් එච්එම්එස්ජේ බණ්ඩාර ඉසේබ විසිනි.