Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th May 2024 19:32:48 Hours

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කරයි

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සවයට, මූල්‍යය කළමනාකරණ අධ්‍යක්‍ෂක ‍ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සීගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 මැයි 13 දින එම අවස්ථාවට සහභාගී විය.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නය එම රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්ෂණික දැනුමෙන් සහ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී. මෙම නව දෙමහල් ගොඩනැගිල්ලේ භෝජනාගාර ශාලාවක්, සලාක ගබඩාවක්, සලාක කාර්යාලයක්, මුළුතැන්ගෙයක්, ඇඳුම් මාරු කිරීමේ කාමරයක්, බීමහලක් සහ ලොබි පහසුකම් සහිතව ඉදිකර ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉංජිනේරු සේවා බලකායේ බලකාධිපතිතුමන් සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරයාමේ ගෞරවාචාරය පුදකරන ලදී.

මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් අභිනවයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේ විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කැපීමෙන් අනතුරුව විවෘත කරන ලදී. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ නිරීක්ෂණය චාරිකාවක නිරත විය. ඉංජිනේරු සේවා බලකායේ සාමාජිකයින් ගේ උත්සාහය සහ කැපවීම මත සිදුකරන ලද මෙම ඉදිකිරීම හමුදාධිපතිතුමන් අගය කළේය.

සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිනි. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ පැලයක් රෝපණය කරමින් එම අවස්ථාවට සහභාගී වූවන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භට පිරිස් ආමන්ත්‍රණය කලේය. එහිදී "සඳ හිරු සෑය" වැනි මහා පරිමාණ දීප ව්‍යාප්ත ව්‍යාපෘති සඳහා ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් කරන ලද කැපවීම යුද්ධ හමුදාධිපතිතුමා අගය කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. එම සංචාරය සනිටුහන් කරමින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.