යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් ප්‍රකාරව සිංහ රෙජිමේන්තුවේ 1, 4, 6 සහ 7 යන සිංහ රෙජිමේන්තු තුළින් එක් කණ්ඩායම බැගින් ගෙන එම ඒකකයන් වෙතින් පැමිණි නිලධාරීන් 17 දෙනෙකු හා සෙසුනිලයින් 657 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කණ්ඩායම්වලින් යුක්තව 1992.10.16 වන දින අම්පාර කොණ්ඩුවටුවාන කදවුරේදී 8 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙසේ ආරම්භ වූ මෙම බළඇණියෙහි ප්‍රථම අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ජේසී කොතලාවල යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය රාජකාරිය ඇරඹීය.
මෙම ඒකකය ආරම්භයේදී ඒකක පසුමූලය අඹේපුස්ස කඳවුරෙහි පිහිටු විය. ඒකකය පිහිටුවාලූ දිනයේ සිටම උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියෙහි නිරතව සිටි හෙයින් මූලස්ථානය ද ක්‍රියාන්විත ප්රදේශවලම ස්ථානගත කර පාලන කටයුතු කරගෙන යන ලදී. මෙම ඒකකයට ස්ථීර වාසස්ථානයක් නොතිබීම නිසා කෑගල්ල යුධ හමුදා කඳවුර මෙම ඒකකයේ ස්ථීර නවාතැන වශයෙන් ලබා ගැනීමට හැකි වූ අතර, 1993.10.03 දින සිට එම කඳවුර 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් භාරගෙන එදින සිට ඒකක පසුමූලය කෑගල්ල කඳවුරේ ස්ථාපිත කරන ලදී.
ඒකකය ආරම්භක වකවානුවේදී ඒකකයට අයත් භටපිරිස් අම්පාර, මද්යම කඳවුර, 161 කණුව කඳවුර, පෙරියපිල්ලුමලේ, කොස්ගොල්ල, කොළඹ හන්දිය, නුගේලන්ද, පාලඩිවට්ට, සින්නවත්ත, බට්ටෝහන්දිය, මන්ඩුර්, වෙල්ලාලි, 13 සහ 14 කොළණි, චවලකඩේ යන ප්‍රදේශයන්හි අනුඛණ්ඩ වශයෙන් ස්ථානගතව ක්‍රියාන්විත රාජකාරීන් ඉටුකරන ලදී.
1993.01.10 කොස්ගොල්ල අනුඛණ්ඩය මගින් කරන ලද මාර්ග පිරික්සුම් ක්‍රියාන්විතයේදී ත්‍රස්තවාදී වෙඩි පහරට ලක්ව තුවාල ලැබූ සී කණ්ඩායමට අයත් සෙ/351274 රසෙ ප්‍රේමදාස ආර්ඩී ඒකකයේ සතුරු පහරකට ලක්ව තුවාල ලැබූ ප්‍රථම සෙබළා විය.
1993.08.12 වන දින ලුතිතන් කර්නල් ජේසී කොතලාවල පාඨමාලාවක් සඳහා ඒකකයෙන් සමුගත් අතර ඒකකයේ අණදීම ලුතිතන් කර්නල් පී පන්නිපිටිය යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නිල වශයෙන් භාර ගත්තේය.
විවිධ ස්ථානයන්හි ස්ථානගතව තිබූ ඒකකයේ කණ්ඩායම් 1993.09.30 දින සිට මුලස්ථානය වෙත රපොර්තු කරන ලද අතර, ඒ කණ්ඩායම එදින සිටම ක්‍රියාත්මක වන සේ ක්‍රියාන්විත රාජකාරි සඳහා හිඟුරක්ගොඩ වෙතද, ආධාරක, බී,සී සහ ඩී කණ්ඩායම් ත්‍රිකුණාමලයේ මංකිබ්‍රිජ් කදවුරේද ස්ථානගත කරන ලදී. මේ වනවිට “යාල්දේවි” ක්‍රියාන්විතය ආරම්භ වී තිබූ හෙයින් ඒකකයේ සියලුම කණ්ඩායම් 1993.10.06 වන දින වෙත්තිලකේනි කඳවුර වෙත රපොර්තු කළ අතර එම ක්‍රියාන්විතයෙන් පසු නැවත ත්‍රිකුණාමලය මංකිබ්‍රිජ් හි මූලස්ථානගත වූ අතර ඒ, බී, සී සහ ඩී කණ්ඩායම් පිළිවෙලින් සිත්තාරු, වෙල්ගම්වෙහෙර, ඇල්ල සහ පාලම්පටාරු යන කඳවුරුවල ස්ථානගතව රාජකාරි කරන ලදී.
ඒකක භටපිරිස් 1993.10.14 දින කුඹුරුපිඩි වනාන්තරයේ සිටින ත්රස්තවාදීන් මැඩලීම සඳහා කරන ලද “ෂැම්පේන් ” ක්‍රියාන්විතයට සහභාගී වූ අතර, ඉන් අනතුරුව 1993.10.23 දින දියත් කළ මහවිල්ලාරුව ප්‍රදේශයේ “දේදුන්න” ක්‍රියාන්විතයට සහභාගි විය. ඉන් අනතුරුව ඒකක භටපිරිස් ත්‍රිකුණාමලයේ මංකිබ්‍රිජ් කඳවුරේ සිට 23 බළසේනා මුලස්ථානය යටතේ පැවති වැලිකන්ද සිංහපුර වෙත රැගෙන යන ලදහ.
23 බළසේ නා මුලස්ථානය යටතේ මාසයක පමණ කාලයක් ක්‍රියාන්විත රාජකාරි ඉටු කරමින් සිටියදී පුනරින් කඳවුරට එල්ලකළ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන් මෙම ඒකක සියලුභට පිරිස් 1993.11.14 වන දින ත්‍රිකුණාමලය වෙත ගොස් 14 වන දින පලාලි වෙත ගමන් ගත්තෝය. 1993.11.16 දින ත්‍රස්ත ප්‍රහාරයට මුහුණදුන් 1 ශ්‍රීලපාහ ඒකකය පුනරීන් ප්‍රදේශයෙන් මුදවා මෙම ඒකකය පුනරීන්හි රාජකාරි භාරගන්නා ලද අතර මෙම ඒකකයට අයත් සී කණ්ඩායමේ නිලධාරීන් 02 ක් සහ සෙසු නිලයින් 99 දෙනෙකුගෙන් සමන්විතව 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත රපොර්තු කිරීම සඳහා වෙත්තිලකේනි වෙත රපෝර්තු කිරීය.
1994.03.24 දින ඒකක දෙවන අණදෙන නිලධාරි වශයෙන් මෙතෙක් රාජකාරි කළ මේජර් එම්පීඑච්එෆ් ජයසූරිය ඒකක අණදෙන නිලධාරී තනතුර භාරගත් අතර, ඔහු ඒකකයේ තුන්වන අණදෙන නිලධාරී විය. පුරා අවුරුද්දකටත් අධික කාලයක් පුනරීන් ආරක්ෂක වළල්ලේ රාජකාරීන් ඉටු කරනු ලැබූ මෙම ඒකකයට බළඇණි පුහුණුවීම් සඳහා අවස්ථාව උදාවිය. ඒ අනුව 1995.02.21 දින සිට 1995.04.01 දින දක්වා මාදුරුඔය යුධ හමුදා පාසලෙහි බලඇණි පුහුණුවීම් පාඨමාලාව සාර්ථක හදාරන ලදී.
බළඇණි පුහුණුවීම් නිමාවෙන් පසු 6 බලසේනාමුලස්ථානය යටතේ වැලිඔය නෙළුම්වැව කඳවුර සියමුලස්ථානය කර ගනිමින් බලඇණිය ජනකපුර, කල්‍යාණිපුර ප්‍රදේශයන්හි 1995.04.06 දින සිට ස්ථානගත විය. මෙසේ රාජකාරි කරමින් සිටියදී ත්රස්තවාදීන් විසින් වැලිඔය 6 බලසේනාමුලස්ථානය ආරක්ෂක බල ප්‍රදේශයේ කඳවුරු විශාල ප්‍රමාණයකට එකවර එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයට මුහුණ දී මෙම ඒකකය ස්ථානගතව සිටි නෙළුම්වැව, ජනකපුර, ඇතාවැටුනුවැව සහ කල්‍යාණපුර කඳවුරුවලට ද එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මැඩලමින් යුධ හමුදාව විසින් එකවර ත්රස්තවාදීන් 300 කට අධික ප්‍රමාණයක් මරණයට පත් කිරීමේ මහඟු සටනට දායකත්වය සැපයීය.
පසුව යාපනය මල්ලාකම් ප්‍රදේශය අත්පත් කරගැනීම සඳහා දියත් කරන ලද “ෂේක්හෑන්ඩ් 11” ක්‍රියාන්විතයට සහභාගී වීමෙන් පසු ත්රස්තවාදීන්ගේ මල්ලාකම් ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දමා යාපනය අච්චුවේලි ප්‍රදේශය අත්පත් කරගැනීම පිණිස ආරම්භ කරන ලද “තණඩ ස්කිල් 11” ක්‍රියාන්විතයට විශේෂ බලකාය හා කොමාන්ඩෝ බලකාය සමඟ මෙම ඒකකයද එක් වූ අතර ක්‍රියාන්විතය සාර්ථකව නිමකර ගැනීමට හැකිවිණි.
අනතුරුව මෙම බලඇණිය යාපනය අර්ධද්වීපය මුදා ගැනීම පිණිස දියත් කරන ලද “රිවිරැස” ක්‍රියාන්විතයට එක් විය. මෙහිදී ඒකකයට අච්චුවේලි සිට කෝපායි දක්වා භුමි ප්‍රදේශය අල්ලා ගැනීමේ ක්‍රියාන්විතයේ ඉදිරි පෙළ ප්‍රහාරක බලඇණියක් වශයෙන් ගමන් කළ අතර, මෙම ක්‍රියාන්විතයේදී නිර්වේලි ප්‍රදේශයේ පිහිටා තිබූ ප්‍රබල ත්‍රස්තවාදී බංකර් පෙළක් විනාශ කර කෝපායි ප්‍රදේශයේ ත්රස්තවාදීන් විසින් පොලොව යට ඉදිකර තිබූ රෝහලක්ද අත්පත් කරගැනීමට හැකිවිය.
“රිවිරැස”ක්‍රියාන්විතය තුලදීම ඒකකයේ අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි කළ මේජර් එම්පීඑච්එෆ් ජයසූරිය අණදෙන නිලධාරී තනතුරෙන් මිදී ඒකකයෙන් සමු ගන්නා ලදී. ඒ අනුව නව අණදෙන නිලධාරී වැඩ භාර ගත් අතර ඔහුගේ අණදීම යටතේ තනන්කිලප්පු ප්‍රදේශයේ විශේෂ කඳවුරක් ඉදිකර මුහුදු මාර්ගය ඔස්සේ සිදු වූ ත්‍රස්ත ක්‍රියාකාරකම් අඩපණ කිරීමට මෙම ඒකකය සමත් විය.
1972.02.17 වන දින ඒකකය යාපනය ප්‍රදේශයෙන් ඉවත්ව “එඩිබලය” ක්‍රියාන්විතයට සහභාගී වීම සඳහා වවුනියාව ප්‍රදේශයට පැමිණි අතර “එඩිබලය” ක්‍රියාන්විතයට සහභාගී වී මන්නාරම දක්වා ගමන් කර ඒකකය උයිලන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත විය.
ඉන් අනතුරුව ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුව තිබූ මඩු පල්ලිය හා ඒ අවට ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම් ඉදිරි ප්‍රහාරක බලඇණියක් වශයෙන් සහභාගී වූ මෙම ඒකකය මෙම ක්‍රියාන්විතයේදී ත්රස්තවාදීන් වෙත සාර්ථක ප්‍රහාරයක් එල්ල කර මඩු පාර, මඩු පල්ලිය සහ එම අවට ප්‍රදේශය මුදවා ගත්තේය.
පසුව යුධ හමුදාව විසින් මෙහෙය වූ ඇති දුෂ්කර හා දීර්ඝතම මෙහෙයුම වන “ජයසිකුරු” ක්‍රියාන්විතයට සහභාදී වීම සඳහා මෙම ඒකකය වවුනියාවට පැමිණ 1997.05.13 වන දින සිට එම ක්‍රියාන්විතයේ ඉදිරි ප්‍රහාරාත්මක බලඇණියක් වශයෙන් කටයුතු කරන ලදී. මෙම ක්‍රියාන්විතයේදී ඕමන්තේ, පෙරියමඩු, ඕලුමඩු වැනි ප්‍රදේශ ත්‍රස්තවාදී ග්රහණයෙන් මුදවා ගැනීමට ඒකක භට පිරිස් සමත් විය. අවස්ථා ගණනකදීම මෙම ඒකක ඉදිරි ආරක්ෂක වළල්ල බිඳ දැමීමට ත්රස්තවාදීන් උත්සාහ කරන ලද අවස්ථා ගණනාවක් ඒකක භට පිරිස්හි කැපවීම මත වළක්වාලීමට සමත් විය.
“ජයසිකුරු” ක්‍රියාන්විතය මගින් මාන්කුලම් නගරය හා මුලතිව් මාර්ගය අත්පත් කරගත් අතර, මෙම ක්‍රියාන්විතයට සහභාගී වී ඒකකයේ නිලධාරී 03 දෙනෙකු සහ සෙසුනිලයින් 52 දෙනෙක් මියගිය අතර, 324 දෙනෙකු පමණ තුවාල ලබන ලදී.