Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th September 2019 22:49:16 Hours

ගාඩියන්ස් මේලා - 2019

ස්වාර්ථයට පෙර දේශය තේමා පාඨය කර ගත් බලඇණි 20 කින් සමන්විත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධයෙන් මියගිය, රණක්ෂිතයට පත් රණවිරුවන්ගේත්, දැනට සේවයේ යෙදී සිටින සෙබළුන්ගේත් පවුල්වල සුබසාධන කටයුතු මෙන්ම රෙජිමේන්තු මධ්යස්ථානයේ සහ එයට අයත් බලඇණියන්හි යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ කොට ගනිමින් සංවිධානය කරන ලද ගාඩියන්ස් මේලා වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙලිය 2019 අගෝස්තු මස 30, 31, සහ සැප්තැම්බර් මස 01 යන තෙදින මාවතගම සාමෝදය ක්‍රිඩාංගණයේදී පැවැත්විණි. මෙයින් උපයන ලද ආදායමින් යුද්ධයෙන් මියගිය සහ විවිධ වූ ආබාධ සහිත තත්වයන්ට පත් වූ රණවිරුවන් වෙත නිවාස 20 ක් ඉදිකර දීම සහ එම පවුල් වල අධ්‍යාපනය ලබන දුදරුවන් වෙත ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු රණවිරු සුභසාධන කටයුතු රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම රෙජිමේන්තුවට අයත් දිවයින පුරා විසීරී සිටින බලඇණිවල සෙබලුන් විසින් අලෙවිකරන ලද ලොතරැයි පත් සදහා සිදුකල දිනුම් ඇදීමෙන් පළමු දෙවන සහ තෙවන ස්ථාන වෙත පිළිවෙලින් රු1500000.00, 1000000.00 සහ රු.500000.00 ක මුදලක් ප්‍රධානය කළ අතර ඊට අමතරව රු 100000.00 සහ රු. 50000.00 බැගින් වූ සැනසිලි ත්‍යාග 20 ක් ද රු. 25000.00 බැගින්වූ සැනසිලි ත්‍යාග 20ක් ද වශයෙන් රුපියල් මිලියන 5ක් ජයග්‍රහකයින් වෙත ප්‍රධානය කරන ලදී. මෙහිදී අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිනි ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවෙින්ද්‍ර සිල්වා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් පළමු දෙවන සහ තෙවන ත්‍යාග ප්‍රධානය කෙරුණි. සැණකෙළියේ අවසන් දිනය මෙම රෙම සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කළ අතර, මෙම අවස්ථාවට ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වන සුජිවා නෙල්සන් මැතිණිය සහ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝමා රණවක මැතිනිය ඇතුළු සේවා වනිතාවන් රැසක් සහභාගිවිය. මෙහිදී මෙම රෙම සේවා වනිතා සභාපතිනිය විසින් යුධ හමුදා සේවා වනිතා ඒකක සභාපතිනිය වෙත යුධ හමුදා සේවා වනිතා ශාඛාවේ සුභ සාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන දෙකක ප්‍රධානය පතක් පිළිගන්වනු ලැබීය.

මෙම සැණකෙලිය පැවති තෙදින පුරා අති විශාල ජනතා සහභාගීත්වයක් දක්නට ලැබිනි. ගාඩියන්ස් මේලා වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියෙහි පලමු දින වූ අගෝස්තු මස 30 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේ රණවක ආර්එස්පී එන්ඩීයු අයිජි සහභාගි වු අතර, “ෆ්ලෑෂ් බැක්” සංගීත කණ්ඩායම විසින් රාත්‍රිය සංගීතවත් කරන ලදී. එදින ජනකාන්ත ගායන ශිල්පීන් වන ශානිකා වනිගසේකර, විරාජ් පෙරේරා , නොයෙල් රාජ් ගායනයෙන්ද ෂයින් ඇරෝස් නර්ථන කණ්ඩායම නර්ථනයෙන්ද ප්‍රසංග වේදිකාව වර්ණවත් කරන ලදී. අගෝස්තු මස 31 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශ්‍රාරමික මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් සහභාගී වු අතර, එදින රාත්‍රිය සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමගින් ධනපාල උඩවත්ත, ජින්ජර් වයිට් සහ ශානිකා නිරෝෂා යන ගී තරු ගායනයෙන් රාත්‍රිය වර්ණවත් කරන ලදි. එදින නර්ථනය ඇලෙක්ස් විත් ඩෑස් නර්ථන කණ්ඩායමෙනි. සැණකෙළියේ අවසන් දින වූ සැප්තැම්බර් මස 01 වන දින සීදුව සකුරා සංගීතයට සේනානායක වේරලියද්ද, සුප්‍රියා අබේසේකර ගීත ගායනයෙන් එක්වු අතර රෙඩි ඇරෝස් නර්තනයෙන් රාත්‍රිය වර්ණවත් කලේය.

සැණකෙළි භූමිය සෑම දිනකම ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සනන්දධ බලකායේ සන්නද්ධ රථ ප්‍රදර්ශනය ශ්‍රි ලංකා ලංකා කාලතුවක්කු හමුදාව ඉදිරිපත් කල කාලතුවක්කු සංදර්ශණය සහ අවි ප්‍රදර්ශනයණයද කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කේ 9 කණ්ඩායම ඉදිරිපත් කල සටන් පුහුණු සුණඛ සංදර්ශණයද ඉමහත් ජනතා ප්‍රසාදයට හා ආකර්ශනයට ලක්වූ බව මෙහිදී විශේෂයෙන් සදහන් කල යුතුය. මීට අමතරව මාරක ලිද, කතුරු ඔන්චිල්ලාව, ගැලැක්සිය, රෝලර් කෝස්ටර්, පුංචි කෝච්චිය, බේබි බවුන්සර්, වෝටර් පූල්, වායු රයිෆල් වෙඩි තැබීම් ඇතුළු විනෝද ක්‍රිඩා රැසක් ද අන්තර්ගත විය.

මෙම සැනකෙළිය සදහා විද්‍යුත් මාධ්යය අනුග්‍රාහක දායකත්වය ස්වාධීන රෑපවාහිනිය සමගින් ෂා එෆ්එම් ගුවන් විදුලිය ද, මුද්ද්‍රත මාධ්යය අනුග්‍රාහය විජය පුවත්පත් සමාගම විසින් ද ලබා දෙන ලදි.