25th March 2026 21:38:30 Hours
14 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙ/කිව්116561 සාසෙ රාජපක්‍ෂ පීකේජීඒආර්කේ යන සෙබලා 2026 මාර්තු මස 21 වන දින පදවිය මහජන ක්‍රීඩාංගණයේදී විනාඩි 03 ක් අතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලිගසා සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වන ලදී. මෙහිදි තවත් විශේෂිතම කරුණක් වනුයේ එම සෙබලා විනාඩි 03 ක් ඇතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලි ගැසීමේදී පලමු විනාඩිය තුල පොල් ගෙඩි 04 ක් ලෙලි ගසා ඇති අතර, එයද නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් වී ඇත. තවද, මෙම සෙබලා විසින් කි:ග්‍රෑ: 80 ක බරක් දත් ආධාරයෙන් ඔසවා තවත් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවු අතර, මෙම ලෝක වාර්තා ත්‍රිත්වයම එකම දිනකදී පැය කිහිපයක් තුල සෙරන්ඩිබ් ලෝක වාර්තා පුද්ගලික ආයතනයේ අධික්‍ෂණය යටතේ සහ සුවහසක් ජනතාව ඉදිරියේ පිහිටවනු ලැබූ අතර, ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා සහභාගි වු පළමු අවස්ථාවේදීම එම වාර්තා ත්‍රිත්වයම පිහිටුවීමට සමත්විය.
රජරට පුරවරයේ අති දුෂ්කර පදවිය, බාලයාවැව ගම්පියසෙහි උපත ලබා වර්ෂ 2007 පෙබරවාරි මස 14 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදාව වෙත ඇතුලත්ව ඇති මෙම විරෝධාර රණවිරුවා වසර 19 කට වැඩි යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර සිටින අතර, ඔහු ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය කරා රැගෙන යාමට සිදුකරන ලද මෙම සුවිශේෂි කාර්ය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාවටම ඉමහත් ගෞරවයක් ගෙන දෙන ලැබු ක්‍රියාවක් විය.
මෙම සුවිශේෂි අවස්ථාව සඳහා අප රෙජිමේන්තුව නියෝජනය කරමින් කර්නල් ඊ ඩී එම් ජයකාන්ත ඡ්‍යෙෂ්ඨ නිලධාරි සහ 14 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරි මේජර් ජේ ඒ එන් කේ ජයසූරිය ශ්‍රීලංජාආබමු ඇතුලුව යුද්ධ හමුදා නිලධාරි/සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය. මෙම විරෝධාර රණවිරුවාගේ ජයග්‍රහණයන් වෙනුවෙන් රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රමුඛ රෙජිමේන්තුවේ සියලුම ඡ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සියලුම සෙසුනිලයින් සුභාශිංෂණය එක් කරන අතර, ඔහුට තව තවත් මෙවැනි ජයග්‍රහණයන් කරා යාමට අවැසි ශක්තිය හා ධෛර්ය නොමදව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.