Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

03rd August 2018 15:35:05 Hours

රෙජිමේන්තු මූලස්ථාන බලඇණියට නව දෙමහල් භඨ නිවාසයක්

මෙම රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සෙබළුන්ගේ ප්‍රයෝජනය සදහා අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම්වලින් පරිපූර්ණ දෙමහල් භඨ නිවාසය 2018 අගෝස්තු මස 03 දින උත්සවාකාරයෙන් සෙබල අයිතියට පත්කරනු ලැබින.

යුධ හමුදාව වෙතින් ලද ප්‍රථිපාදනයන්ට අමතරව රෙජිමේන්තු අරමුදල් යොදවා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර රෙජිමේන්තු ඉදිකිරීම් කණ්ඩායම විසින් මේ සදහා සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදී. තවද ඔවුන් විසින් මෙම විශිෂ්ඨ භඨ නිවාසයේ ඉදිකිරීම් සදහා දිවා රෑ වෙහෙසෙමින් අතිවිශිෂ්ඨ ලෙස කැපවූ බව මෙහිදී කෘතඥතා පූර්වකව සිහිපත් කලයුතුය.

මෙම දෙමහල් භඨ නිවාසය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්එම්ඒඩබ්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ආරාධනයෙන් එවකට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි ඉටුකල වර්තමාන ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඒපී ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් සෙබල අයිතියට පත්කරන ලද අතර, මෙම රෙජිමේන්තුව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකල එතුමන්ගේ ධූරකාලය තුලදී මෙම ව්‍යාපෘතිය සදහා මුල්ගල් තබන ලදී.

මෙම සාඩම්බර උත්සව අවස්ථාවට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඩබ්එම්ඒඩබ්එන් රණවන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්බී කොහොන, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, රෙජිමේන්තු ඉදිකිරිම් කණ්ඩායම සහ සෙසුනිලයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.