Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

25th August 2020 14:57:46 Hours

ආලන්කුලම් ප්‍රදේශයේ රාජ්‍ය බලධාරීන්, බැංකු නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් එක්ව ප්‍රදේශයේ පොදු ගැටළු පිළිබඳ සාකච්ඡා කරයි

ප්‍රතිසන්ධානය, සහජීවනය, ජනවාර්ගික සමගිය, ආරක්‍ෂාව සහ නීතිය හා සාමය පිළිබඳ ගෞරවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්එච්ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ආලන්කුලම් පිහිටි 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක මුලස්ථානයේදී 2020 අගෝස්තු මස 11 වන දින සිවිල්-හමුදා සම්බන්ධිකරණ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙල සහ ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ හැකියාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. 65 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා 653 වන බලසේනාවේ බලසේනාධිපති, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම්, මල්ලාවි මුලික රෝහලේ වෛද්‍ය නිලධාරී, වවුනිකුලම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු නිලධාරී, මල්ලාවි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්‍ෂක, මල්ලාවි පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මල්ලාවි මධ්‍ය මහා විද්‍යාලයේ හා තේරන්කන්ඩල් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ විදුහල්පතිවරුන්, මුලන්කාවිල් හි පිහිටා ඇති සියලුම රජයේ හා පෞද්ගලික බැංකු බලධාරීන්, ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරීන් සහ රජයේ බලධාරීන් ඇතුළු ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ සිවිල් වැසියන් සහභාගි වූහ.

මෙම සාකච්ඡාව අතරතුරදී, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබඳ අවධානය යොමු කෙරිණි. ප්‍රදේශයේ ආරක්‍ෂාව සහ සමගිය සහතික කිරීම සඳහා මෙම සාකච්ඡාවට සහභාගී වූවන් මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබඳ නව අදහස් හා යෝජණා ඉදිරිපත් කරමින් සාකච්ඡා කළහ.