Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th June 2020 14:28:02 Hours

57 වන සේනාංකය සිවිල් වැසියන්ගේ දැවෙන ගැටළු විසඳීමට සහාය වෙති

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය බලප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන් අතර පවත්නා ප්‍රධාන ගැටළු වන ජල සම්පත, වාරිමාර්ග අවශ්‍යතා සහ ආපදා කළමණාකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් අවශ්‍යතා පිළිබඳ සොයාබැළිමේ අරමුණින් 2020 ජුනි මස 18 වන දින 571 වන බලසේනා මූලස්ථානයේදී අදාළ නිලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පීඑස්සී ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිජිඑස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ගේ මඟපෙන්වීම යටතේ පැවැති මෙම සාකච්ඡාවේදී සංවර්ධන අවශ්‍යතා, පානීය හා වගා ජලය සැපයීම, වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘති, ගංවතුර තත්ත්වය අවම කරගැනීමේ හැකියාව සහ කිලිනොච්චි ප්‍රදේශයේ පවතින ආපදා තර්ජන වැනි ප්‍රධාන ගැටළු පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා කෙරිණි.

කිලිනොච්චි ප්‍රදේශයේ රජයේ ආයතන ප්‍රධානීන්, ප්‍රාදේශීය කළමණාකරුවන්, ජල සම්පාදන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරුවරුන්, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ ඉංජිනේරුවන් සහ කිළිනොච්චි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂතුමන් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී අදාළ කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන ලදී.

තවද, අදාළ සියලු ගැටළු සඳහා අවශ්‍ය සහයෝගය 57 වන සේනාංක මූලස්ථානය වෙතින් ඉල්ලුම් කරන ලෙස මෙහිදී වැඩිදුරටත් දැනුම් දුන් අතර එසේම, ප්‍රදේශයේ ප්‍රජාව සම්බන්ධ ව්‍යාපෘති සඳහා 57 වන සේනාංකය දක්වන අඛණ්ඩ දායකත්වය ද එම නිලධාරීන්ගේ ඇගයීමට ලක්විය.

මෙම සාකච්ඡාව 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩීකේඑස්කේ දොලගේ යුඑස්පි පිඑස්සි විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරනු ලැබීය. තවද, මෙම අවස්ථාව සඳහා 572 වන බලසේනාවේ බලසේනාධිපති, 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, 571 වන බලසේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකක අණදෙන නිලධාරීන් සහභාගී වූහ.